විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බව කථානායක පවසයි

January 8, 2019

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයකින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාය.

එම සම්පුර්ණ නිවේදනය මෙලෙසින්..

නිවේදනය

2018 දෙසැම්බර් මස 18 වෙනි  දින කථානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ  විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගෙන සිටින පිළිගත් දේශපාලන පක්ෂ අතරින් වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් සංඛ්‍යාවක් සිටින පක්ෂයේ  හෝ ස්වාධීන කණ්ඩායමේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් පිළිගැනීම චිරාගත පාර්ලිමේන්තු  සම්ප්‍රදාය වන බවයි. එ් අනුව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා විරුද්ධ පක්ෂයේ නායකයා ලෙස  පිළිගන්නා ලදී.

එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.18 දාතමින් යුත් ලිපිය මගින් තම සන්ධානය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරය සඳහා යෝජනා කිරීමට තීරණය කළ බවටද කථානායකතුමා වෙත දැනුම් දී ඇත.

කථානායකතුමාගේ ඉහත කී නිවේදනයෙන් අනතුරුව සහ 2018 දෙසැම්බර් මස 19 වෙනි බදාදා ඉලංගෙයි තමිල් අරසු කට්චි (පක්ෂය) හි නායක ආර්. සම්බන්ධන් මහතා විසින් පාර්ලිමේන්තුව තුළ කරනු ලැබූ විශේෂ ප්‍රකාශයෙන්  පසුව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වය නියෝජනය කරන   මන්ත්‍රීවරුන් විසින් සභා ගර්භය තුලදී පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායකයා පිලිගැනීම සම්බන්ධයෙන් මතු කරන ලද විවිධ කරුණු සම්බන්ධයෙන් ගරු කථානායකතුමාගේ තීරණය මෙම ගරු සභාවට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

සභාව තුළ මතු කරන ලද කරුණුවල සාරාංශගත හරය වූයේ යම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු අවස්ථාවේදී ඔහුගේ නම ඇතුළත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ  ස්වාධීන කණ්ඩායමක (යනුවෙන් සඳහන් කරනු ලබන) නාම යෝජනා පත්‍රයේද, එ් දේශපාලන පක්ෂෙය් හෝ කණ්ඩායමේ සාමාජිකයෙකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ   පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා නතර වූ අවස්ථාවක ඔහු එසේ සාමාජිකයෙකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන්නේය යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99(13) ව්‍යවස්ථාවේ (අ) අනු ව්‍යවස්ථාවේ  සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදනයන් පදනම් කර ගෙනය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් විසින් 2018.12.19 දින දරණ ලිපිය මගින් කථානායකතුමාට දන්වා ඇත්තේ මැතිවරණයෙන් පසු මැතිවරණ කොමසාරිස්ගේ ගැසට් නිවේදනය අනුව තේරී පත්වූ සියළුම මන්ත්‍රීවරුන් (අධිකරණ නියෝග මත ඉවත්වූ මන්ත්‍රීතුමිය හැර) සියළු දෙනාම තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවයි.

මෙම  කරුණ පිළිබදව ගරු කථානායකතුමා විසින් ගැඹුරෙන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, තීරණය කර ඇත්තේ යම් මන්ත්‍රිවරයෙකුගේ අසුන  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධානයන්ට අනුකූලව නීතිය ක්‍රියාත්මක වීම මගින් අහිමිවීම පිළිබඳව හෝ යම් මන්ත්‍රීවරයෙකුගේ පක්ෂ සාමාජිකත්වය  අහිමිවීම, ඉල්ලා අස්වීම පිළිබඳ වන සිද්ධිමය  කාරණා හෝ තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල සඳහන් විධිවිධාන වලට අනුකුලව ගරු කථානායකතුමාගේ බලසීමාවට අදාල කාරණයක් නොවන බවයි. එසේම, ගරු කථානායකතුමා අවධාරණය කර සිටින්නේ ඉහත කී කාරණා පිළිබඳව  නිශ්චය කිරීමට    බලය ගරු අධිකරණය සතු කාර්යභාරයක් වන බවයි.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  පිරිසක් විසින් මෙම කරුණු සොයා බැලීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනාවක් භාර දී ඇත.

එම කරුණ පිළිබඳවද ගරු කථානායකතුමා විසින් සලකා බලනු ලදුව, පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතර මන්ත්‍රී කණ්ඩායමක් විසින් එහි සුළුතරයක් නියෝජනය කරන කණ්ඩායමක, අභ්‍යන්තර කටයුතු පරීක්ෂා කර බැලීම සඳහා වන යෝජනාවක් පිළිගැනීම පාර්ලිමේන්තු  සම්ප්‍රදායන්ට සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට එකඟ නොවන සහ පටහැනි වන බවටද දැනුම් දී ඇත.

t

o

p