එක්සත් ජාතික පෙරමුණට සිවිල් සංවිධාන එක් කර ගැනීමට සූදානමක්

January 8, 2019

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් අරඹන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා මෙරට සිවිල් සංවිධාන සෘජුවම සම්බන්ධ කරගැනීමට තීරණය වී තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ නායකයින් මෙම තීරණය ගනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම රැස් වූ අවස්ථාවේදීය.

2015 වසරේදී බල ගැන්වුණු යහපාලන ක්‍රියාදාමයට දායක වූ සියලු සිවිල් සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ද එක්කර ගැනීමට එහිදී තීරණය විය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මත ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ජාතික හෙළ උරුමය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මේ වන විටත් එක්ව සිටී.

ඊට අමතරව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා නායකත්වය දරණ නව සමසමාජ පක්ෂය වැනි දේශපාලන සංවිධාන ද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට එක්කර ගැනීමේ අවශ්‍යතාවය ඉහත සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබීය.

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ දස දෙනෙකුගෙන් සමන්විත නායකත්ව මණ්ඩලයකින් ක්‍රියාත්මක වන අතර නායකත්ව මණ්ඩලයේ සභාපති ධුරය ප්‍රධානතම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිතය.

t

o

p