වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් නැහැ

October 31, 2018

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ක්‍රියාදාමය පිටුපස කිසිදු විදේශ තානාපති කාර්යාලයක් සිටින බවට පිළිගත හැකි සාක්ෂි කිසිවක් ලැබී නැතැයි, එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (31) පැවසීය.
විදේශ රටවල තානාපති කාර්යාල මෙරට දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ යයි තොරතුරු පැතිරෙන්නේ ගොසිප් වෙබ් අඩවි, ඇතැම් සමාජ මාධ්‍යජාලා සහ කට කථා මගින් පමණකැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹසිටින විදේශ ප්‍රවෘත්ති ඒජන්සි කීපයක මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාදාමය පිළිබඳව ද විදේශ ප්‍රවෘත්ති ඒජන්සි මාධ්‍යවේදිහු එහිදී ප්‍රශ්න කළහ.
ඊට පිළිතුරු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ පැවසීය.
එවකට සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ පරදවා බලයෙන් පහ කර රටේ ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමට නම් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට ප්‍රබල මතයක් එදා පැවතුනා. සිවිල් සංවිධාන සහ ඇතැම් දේශපාලන පක්ෂ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවට වන ස්ථාවරයේ තදින්ම සිටියා.
ඇතැම් දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන විසින් පොදු අපේක්ෂකයෙකු සඳහා නම් කීපයක්ම ඉදිරිපත් කළා. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොදු අපේක්ෂක සඳහා සුදුසු යයි යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතායි.
සමහර සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලන පක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ වූයේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණත්, තවත් දේශපාලන පක්ෂත් ඒ අවස්ථාවේදී ප්‍රකාශ කළේ වැඩි දෙනාගේ එකඟතාවය මත පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නම් තම පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉදිරිපත් නොකරන බවයි.
සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලන පක්ෂ කළ යෝජනාව අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සහාය ගැනීමේ යෝජනාව මා සම්මත කර දුන්නා.
එක්සත් ජාතික පක්ෂය මගේ යෝජනාව සම්මත කිරීමත් සමඟ පොදු අපේක්ෂකට සහාය දීමට බොහෝ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන පෙළ ගැසුණායයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

t

o

p