අමිහිරි තරඟ පාරාජයන් පෙළට සමුදී ශ්‍රී ලංකාව වාර්තාගත ජයක් ලබයි

October 24, 2018

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 219 ක වාර්තාගත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.  තරගාවලිය තරග 3-1 කින් ජය ගැනීමට එංගලන්තය සමත් වුවද මෙම තරගයේදී යළිත් සුපුරුදු දස්කම් අතරට පිවිසීමට ශ්‍රී ලංකාව සමත් විය.

මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 6 ට ලකුණු 366 ක් ලබා ගත් අතර වර්ෂාව ඇද හැලෙන විට එංගලන්තයට පන්දුවාර 26.1 කදී ලබාගත හැකිවූයේ කඩුලු 9 ට ලකුණු 132 ක් පමණි.

ඊයේ ශ්‍රී ලංකාව රැස්කළ ලකුණු සංඛ්‍යාව ආර්. ප්‍රේමදාස පිටියේ රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද, ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා ‍පොතට එක්විය.

නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 137 ක සම්බන්ධතාවක් තබමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.  වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කුසල් පන්දු 33 කදී එක් හතරේ පහරක් සහ දැවැන්ත හයේ පහර 6 ක් සහිතව ලකුණු 56 ක් ලබා ගත්තේය.  නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් පන්දු 73 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සහිතව ලකුණු 80 ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත පි‍ලේ රෝයි (4) හේල්ස් (00) සහ බට්ලර් (00) ලකුණු 4 ක් තුළ ක්‍රීඩාගාරයට යැවීමට චමීර සහ රාජිත සමත්විය.  ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ චමීර ලකුණු 20 ට කඩුලු 3 ක්ද අකිල ලකුණු 19 ට කඩුලු 4 ක්ද බිඳ හෙළීය.

t

o

p