මාලිංගගේ උත්සාහය අපතේ යයි ; එංගලන්තයට ලකුණු 31ක ජයක්

October 14, 2018

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී 13 වැනිදා පැවැති දෙවැනි එක්දින තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 31 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 279 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 29 ක් අවසානයේ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලබා සිටියේ ලකුණු 140 ක් පමණි.  කඩුලු 5 ක් බිඳ වැටී තිබූ බැවින් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට නම් ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 171 ක් ලබා සිටිය යුතුව තිබිණ. තරගය නතර කරන විට ධනංජය ද සිල්වා පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 36 ක්ද, තිසර පෙරේරා පන්දු 49 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 44 ක්ද ලබා නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ලසිත් මාලිංග, එංගලන්ත කණ්ඩායමට පහසුවෙන්ම ලකුණු 300 සීමාව පසුකර යෑමට තිබූ අවස්ථාව අහිමි කරමින් ලකුණු 44 කට කඩුලු 5 ක් දවාගත්තේය. 41 වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකදී ඔයින් මෝගන් සහ මුයින් අලී දවාගත් මාලිංග, 46 වැනි ඕවරයේ පළමු සහ අවසන් පන්දුවලදී ක්‍රිස් වෝක්ස් සහ ලයෑම් ඩෝව්සන් දවාගනිමින් එංගලන්ත කණ්ඩායමේ පසුපෙළ අඩ පණ කළේය.

t

o

p