2006 සිට 2015 දක්වා විශේෂ ජනධිපති සමාව දේශපාලන හිතවත්කම් වලට අවභාවිතා කරලා

October 10, 2018

විශේෂ ජනාධිපති සමාව දීමේ ක‍්‍රමය යටතේ 2006 වසරේ සිට 2015 වසර දක්වා වසර නවයක කාලසීමාවක් තුළදී සිරකරුවන් විසි නවදහස් තුන්සිය නව දෙනෙකු (29,309) නිදහස් කර ඇති බවත්, මිනීමැරුම් චෝදනා වෙනුවෙන් සිරගත වූ අයෙකුද ඒ අතර සිටින බවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවට ඊයේ (09) මේ පිළිබදව දැනුම් දුන්නේය.

2006 සිට 2015 දක්වා විශේෂ ජනාධිපති සමාව ලබාදුන්  සිරකරුවන් සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා මතුකළ ප‍්‍රශ්නයට දුන් පිළිතුර මෙසේය.

ඒ පිළිතුර අනුව 2006 වසරේ නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 2217 කටද, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සිරකරුවන් 33 කටද, සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් 1318 කටද ජනාධිපති විශේෂ සමාව ලබාදී තිබේ.

2007 වසරේ නිදහස් දිනය වෙනුවෙන් 1945 ක්ද, 2008 නිදහස් උත්සවය වෙනුවෙන් 2281 ක්, 2009 නිදහස් දිනය වෙනුවෙන් 2575 කටද, 2009 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් 10 කට, 2009 වෙසක් පොහොය වෙනුවෙන් 651 කට සහ පොසොන් පොහොය වෙනුවෙන් 583 කටද, දළදා පෙරහර වෙනුවෙන් 1900 කට සහ සිරකරු සුබසාධක දිනට 1618 කට  විශේෂ ජනාධිපති සමාව ලබාදී ඇත.

2010 වසරේ නිදහස් දිනය වෙනුවෙන් 1583 කටද, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් 30 කටද, සිරකරු සුබසාධන දිනය වෙනුවෙන් 1365 කටද  ජනාධිපති විශේෂ සමාව හිමිව තිබේ.

2011 වසරේ නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 1690 කටද, වෙසක් පොහොය නිමිත්තෙන් 956 කටද , සිරකරු සුබසාධක දිනය වෙනුවෙන් 1040 කටද නිදහස ලබාදී තිබේ.

2012 නිදහස් දිනය වෙනුවෙන් 1385 ක්, 2013 නිදහස් දිනය වෙනුවෙන් 1270 ක්, සිරකරු සුබසාධන දිනය වෙනුවෙන් 970 කට මෙන්ම 2014 දී නිදහස් දිනය වෙනුවෙන් 1233 කටද, වෙසක් පොහොය නිමිත්තෙන් 533 කටද, පාප්තුමාගේ ලංකා ගමන වෙනුවෙන් 619 කටද, 2015 නිදහස් උත්සවය වෙනුවෙන්  554 ක් වෙසක් පොහොය වෙනුවෙන් 429 ට සහ නත්තල් දිනය වෙනුවෙන් 553 කට ජනාධිපති සමාව ලබාදී ඇති බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.

ස්ත‍්‍රී දුෂණ හෝ ළමා අපචාරවලට සම්බන්ධ කිසිදු අයෙකුට නිදහස ලබාදී නොමැති බවත්  මීනිමැරුම් වලට සම්බන්ධ අයෙකුට 2010 දී නිදහස ලබාදී ඇති බවත් ගයන්ත කරුණාතිලක ඇමැතිවරයා ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දක්වමින් නලින්ද ජයතිස්ස මන්ත‍්‍රීවරයා විමසා සිටියේ කාන්තාවන් දෙදෙනෙකු ඝාතනය කළ කාන්තාවකට ජනාධිපති විශේෂ සමාව දී ඇත්තේ ඇමැති බිරිඳක වීම නිසාවෙන්ද යන්නය. ජනාධිපති සමාව දේශපාලන හිතවත්කම් සඳහා අවභාවිතා කර ඇති බවද ඔහු පවසා සිටියේය.

t

o

p