ධීවර හා සංචාරක කර්මාන්ත වල දියුණුවට නොර්වේ රාජ්‍යයේ සහාය

October 7, 2018

ධීවර අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක සිටින නොර්වේ රාජ්‍යයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීකරණය කිරීමට, සාගර සම්පත්වලින් සම්පූර්ණ ප්‍රයෝජන ලබාගැනීමටත්, සංචාරක කර්මාන්තය දියුණු කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 05 වැනි දා දහවල් නෝර්වේහි දී මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ශ්‍රී ලංකාවේ නොදියුණු ප්‍රදේශ දියුණු කිරීම සඳහා දිගු කාලයක සිට නෝර්වේ රජයෙන් ලැබෙන සහයෝගය අගය කළ රනිල් වික්‍රමසිංහ මහතා, ඒ සහයෝගය තවදුරටත් උපරිම ලෙස ලබා ගැනීමට ක්‍රියා කරන බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg) සමඟ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ ශාලාවේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

නෝර්වේ රාජ්‍යයට පැමිණෙන ලෙස මා ඇතුලූ ශ්‍රී ලංකාවේ දූත පිරිසට ආරාධනා කිරීම පිළිබඳව නෝර්වේ රජය වෙත මාගේ ස්තුතිය පළ කර සිටිනවා. මෙම කාලයේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් ද පැමිණ තියෙනවා. ඔවුන්  නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාව නමින් හඳුන්වන මෙරට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පිළිබඳව නිරීක්‍ෂණය කළා. මේ තුළින් දෙරට අතර තිබෙන සුහදත්වය සහ මිත්‍රශීලීභාවය පෙන්නුම් කරනවා.

නෝර්වේ රාජ්‍යය විසින් දිගු කාලයක සිට හම්බන්තොට, මොණරාගල වැනි දුෂ්කර ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලට ආධාර උපකාර ලබා දෙනවා. එපමණක් නොව, යුද්ධය පැවැති සමයේ ඊට විසඳුම් සෙවීමටත්, ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමටත් ලබාදුන් සහයෝගය අපට අමතක කළ නොහැකියි.

ගෝලීය නව දේශපාලන තත්ත්වයන් හමුවේ කුඩා රටවල් දෙකක් ලෙස නෝර්වේ රාජ්‍යයත්, ශ්‍රී ලංකාවත් එකට එක්ව වැඩ කටයුතු කරමින්, ඒ පිළිබඳව සම්බන්ධීකරණයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

බහුජාතීන් එක්ව ආරම්භ කළ දේශපාලන, ආර්ථික එකඟතා හා ක්‍රමවේදයන් ආරක්‍ෂා කර ගෙන ඉදිරියට යාමට අප දෙරටම කැපවී සිටිනවා. පැරිසියේ දේශගුණික ගිවිසුම් ආරක්‍ෂා කරගත යුතුයි.

තවද, සාගරයේ සම්පත් ආරක්‍ෂා කිරීම කෙරෙහි අපි අවධානය යොමුව තිබෙනවා. ඉන්දියන් සාගරයේ සාමය, ආරක්‍ෂාව මෙන්ම නිදහස් නාවික ගමනාගමනය සහතික කරලීමේ වැඩ කටයුතු කිරීම සඳහා නෝර්වේ රාජ්‍යයෙන් අප සහය ඉල්ලා තිබෙනවා. සාගරයේ සම්පත් දෙස බැලිය යුතුයි. ඇන්ටාටිකාව වැනි ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. ඉන්දියන් සාගරය සමග ජීවත් වන අප ඒ සාගරය පිළිබඳව අවධානය යොමු නොකරනවා නම් අනාගතයේ දී විශාල ප්‍රශ්න මතු විය හැකියි.

එමෙන්ම ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනය කිරීම පිළිබඳවත්, ඒවා පාලනය කිරීම පිළිබඳවත්, දේශපාලනමය වශයෙන් නිදහස ආරක්‍ෂා කිරීමත්, අපි ඇති කරන සම්මේලනය ගැනත් අප නෝර්වේ රාජ්‍යය වෙත දැනුම් දී තිබෙනවා.

Norvay-touer5

නෝර්වේ යනු ධීවර අපනයන ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානයක සිටින රාජ්‍යයක් බව කිව යුතුයි. එම නිසා සාගරයේ සම්පූර්ණ සම්පත් ලබා ගැනීමටත්, ධීවර කර්මාන්තය නවීකරණය කිරීමටත්, නෝර්වේ සමාගම් සමග සාකච්ඡා කොට ආයෝජන ලබා ගැනීමටත් අප අපේක්‍ෂා කරනවා. මේ පිළිබඳව අපේ රටේ ආයෝජකයින් කණ්ඩායමක් මෙන්ම, ධීවර අමාත්‍යතුමා ද මෙරටට පැමිණ සාකච්ඡා පවත්වමින් සිටිනවා. මේ සම්බන්ධව දැනුම ලබා ගැනීමට නෝර්වේ ආයතන සමග අප සාකච්ඡා පවත්වනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරය නංවාලීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙන බව කිව යුතුයි.

ශ්‍රී ලංකාවේ සිට පැමිණ, මේ වන විට නෝර්වේහි පදිංචි වී සිටින අයගෙන් ශ්‍රී ලංකාවටත්, නොර්වේ රාජ්‍යයටත් සිදු  වෙන සේවාව අප අගය කළ යුතුයි. මේ අනුව නෝර්වේ රාජ්‍යය සමග එකට එකතු වී අපේ රටේ දියුණුව ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව සහ නෝර්වේ අතර අතීතයේ සිට පැවති සම්බන්ධතා මේ වන විට තවත් ශක්තිමත් වී තිබෙනවා යැයි නෝර්වේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg) මහත්මිය එම ඒකාබද්ධ පුවත්පත් සාකච්ඡාවේදී පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ඉලක්කගත තිරසාර සංවර්ධන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා නෝර්වේ රාජ්‍යය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කරන බවත්, නෝර්වේ රාජ්‍ය සතු නවෝත්පාදන දැනුම සහ තාක්‍ෂණය හුවමාරු කර ගැනීමට සූදානම් බවත් සෝල්බර්ග් මහත්මිය අවධාරණය කළාය.

t

o

p