දේශපාලනයට කාන්තා නියෝජනය වැඩි කිරීම ගැන ලංකාවට පැසසුම්

October 7, 2018

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව හා නෝර්වේ රාජ්‍යයේ උත්තරීතර මන්ත්‍රණ සභාව අතර සබඳතා තව තවත් ශක්තිමත් කරලීම සඳහා ඉදිරියේ දී කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෲන් (Ms. Tone Wilhelmsen Trøen) මහත්මිය අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

05 වන දා පෙරවරුවේ නෝර්වේ උත්තරීතර මන්ත්‍රණ සභා ගොඩනැගිල්ලේ දී වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ටෲන් මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගන්නා ලදුව, සභා ගර්භය වෙත කැඳවා ගෙන යන ලදී.

Norvay-touer1

සභා ගර්භයේ දී එරට මන්ත්‍රණ සභා ඉතිහාසය හා සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් ටෲන් මහත්මිය කරුණු පැහැදිලි කළා ය.

උත්තරීතර මන්ත්‍රණ සභා සභාපතිනියගේ නිල කුට්යේ දී සාකච්ඡා ඇරඹුණේ ඉන් පසුවය.

ශ්‍රී ලංකා දේශපාලනයට වැඩි කාන්තා සහභාගීත්වයක් ලබා දීම සඳහා නව නීති රීති පැනවීම සම්බන්ධයෙන් සභාපතිනිය ශ්‍රී ලංකා රජය වෙත සිය කෘතඥතාව පළ කළාය.

Norvay-touer2

ශ්‍රී ලංකාවේ සිදු කිරීමට යෝජිත අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද ටෲන් මහත්මිය කරුණු විමසුවාය. ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කරලීම උදෙසා රජයේ වැඩ පිළිවෙල පැහැදිලි කළ වික්‍රමසිංහ මහතා, වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ඔස්සේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පාසැල හැර යාමට සිදුවන සිසු සිසුවියන් සියල්ලටම නව අනාගත අපේක්‍ෂාවන් ඇති කර ගැනීමේ මාවතක් විවිර වන බව පෙන්වා දුන්නේය.

2015 වසරේ පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු, පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම උදෙසා ගත් ක්‍රියාමාර්ගයන් ද වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේ ය.

Norvay-touer3

ධීවර හා ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා,  පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ කාවින්ද ජයවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, නෝර්වේ හි ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය අරූෂා කුරේ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස මේ අවස්ථාවට එක් වූහ.

t

o

p