මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරිට හිග වැටුප් ලෙස කෝටි 7 ක්

August 24, 2018

මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කරන අය සිය හිග වැටුප් ලෙස රුපියල් කෝටි හතහමාරකට (ලක්ෂ 760) අධික මුදලක් ලබා ගෙන ඇතැයි කෝප් කමිටු සභාපති ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) හෙළිදරව් කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදි (කෝප් කමිටුව) හෙළිදරව් වූ කරුණක් සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව කිවේය.

වසර හැටක් සම්පූර්ණ වූ මහජන බැංකුවේ සාමාන්‍යාධිකාරි එන්. වසන්ත කුමාර මහතා තවත් වසරක සේවා දිගුවක් ඉල්ලා ඇති බවත් එය කෝප් කමිටුව ප්‍රතික්ෂේප කළ බවද ඒ මහතා සඳහන් කළේය. එම සේවා දිගුව ලබා නොදෙන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත දන්වා යවා ඇති බවද සභාපතිවරයා කිවේය.

එම දැනුම් දිම මුදල් අමාත්‍යාංශය පිළිගෙන ඇති බවද හෙතෙම සඳහන් කළේය. අදාළ සාමාන්‍යාධිකාරිවරයා 2001 වසරේ දි කොන්ත්‍රාත් පදනම මත රුපියල් ලක්ෂයක වැටුපකට සේවයට පැමිණ ඇති අතර මේ වන විට ඔහුගේ මාසික වැටුප රුපියල් ලක්ෂ 21 ක් බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වැඩි කළ මාසික වැටුප අතිතයට ද ගණනය කර ඔහු ඒ මුදල ලබා ගෙන ඇති බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙහිදි නැගි සිටි සභානායක, ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටියේ කෝප් කමිටුව කර ඇති නිර්දේශය රජය පිළිගන්නා බවයි.

t

o

p