අල්ජසීරා අනාවරණය නිසා හැලඹගේ ඝානතය නැවත කරළියට !

May 30, 2018

ගාලු ක්‍රිකට් සමාජයේ ලේකම් ප්‍රේමසිරි හැලඹගේ  ඝාතනය සහ බුකීකරුවන් සමඟ තරග පාවාදීම සම්බන්ධව පසුගියදා අල්ජසීරා නාලිකාව සිදුකළ අනාවරණය අතර සම්බන්ධයක් පවතීද යන්න සම්බන්ධව ක්‍රිකට් ක්ෂේත්‍රයේ සහ ආරක්ෂක අංශවල අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඒ  ප්‍රේමසිරි හැළඹගේ  මහතා සිය පුත්‍රයා සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කර තිබුණේ   2016 අගෝස්තු මාසයේ 12 වන දා වීමත්  මුදලට තණතිලි වෙනස් කිරීම පිළිබඳව අල්ජසීරා සිය අනාවරණය කළේ 2016 වසරේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරවාරයේ ඇති වූ සිදුවිම් කිහිපයක් මුල්කර ගනිමින් වීමත් නිසාය. ඒ අනුව ක්‍රිකට් ක්ෂේත්‍රයේ තොරතුරු මුලාශ්‍ර සඳහන් කර සිටින්නේ හැලඹගේ ඝාතනය සිදුවුයේ අදාළ තරගයට දින කිහිපයකට පසුව බවය.

මේ අතර තවත් අතිශය වැදගත් සාක්ෂියක් සම්බන්ධවද ක්‍රිකට් ක්ෂේත්‍රයේ අවධානය යොමුව ඇත.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රි දාඹරේ මෙම තරගයට පෙර 2016 වසරේ පෙබරවාරි 3 වන දා එවක ගාලු ක්‍රීඩා සමාජයේ  ලේකම් ප්‍රේමසිරි හැලඹගේ වෙත යැවූ අභ්‍යන්තර මෙමෝ සටහනක්  සහ ඊට අදාළ ප්‍රතිචාර කිහිපයක් සම්බන්ධව ය.

අනාවරණය වී ඇති ආකාරයට  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර තණතිලි සහ පහසුකම් සැපයීමේ කළමනාකරු ලෙස කටයුතු කරන ගොඩ්ෆ්‍රි දාඹරේ යවා ඇති එම මෙමෝ සටහනේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාර්යය මණ්ඩලය සඳහා 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කරන ලෙස දන්වා ඇත.
එම 15 දෙනා අතර මේ වනවිට මුදලට තණතිලි වෙනස් කිරීමේ චෝදනා එල්ලවී ඇති තරිඳු ඉන්දිකගේ නම ද සඳහන් බවද වාර්තා වෙයි. එසේම පළමු වරට ඔහුව ගාල්ල ක්‍රීඩාංගණයේ සහකාර කළමනාකරු ලෙස පත්කරන ලෙස දන්වා ඇත්තේද මේ මෙමෝ සටහන හරහාය.

කෙසේ වුවත් ගොඩ්ෆ්‍රි දාඹරේගේ එම මෙමෝ සටහනට  පිළිතුරු යවමින් ප්‍රේමසිරි  හැලඹගේ දන්වා ඇත්තේ  දැනට සිටින කාර්යය මණ්ඩලය වසර 15 කට අධික අත්දැකීම් ඇති අය බැවින් ඔවුන් ඉවත් කර අලුත් කණ්ඩායම පත්නොකරන ලෙසය.

ඒ වනවිටත් ජයනන්ද වර්ණවීර මහතාට එල්ලවී තිබූ තරග පාවාදිමේ චෝදනා නිසා ගාල්ල ක්‍රීඩාංගණයේ කීර්ති නාමයට හානිවී ඇති බැවින් මේ පිළිබඳව සලකා බලන ලෙස ද ඔහු ගොඩ්ෆ්‍රි දාඹරේ වෙත දන්වා ඇත.
2016 පෙබරවාරි 25 වන දා මෙම දැනුම්දීම සිදුකිරීමට හැලඹගේ කටයුතු කර ඇති නමුත් එහෙත් එය නොසළකා 2016 පෙබරවාරි 29 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායකගේ අත්සනින් නිකුත්කළ ලිපියක් මගින් ගොඩ්ෆ්‍රි දාඹරේ මහතා මුලින් නම්කල 15 දෙනා අදාළ තනතුරුවලට පත් කර ඇත.
එසේම  ඕස්ට්‍රේලියා තරග සංචාරය සඳහා පිටිය සැකසීමට සමගාමීව මෙම පත්කිරීම් සිදුකළ යුතු බව එම පත්කිරීම් සිදුකළ ලිපියේ සඳහන් බවද මේ වන විට අනාවරණයවී ඇත.

t

o

p