මීළඟ ජනාධිපතිවරණයටත් පොදු අපේක්ෂකයෙක් !

May 11, 2018

මීළඟ  ජනාධිපතිවරණයේදී ද පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත්, අග්‍රාමාත්‍යවරයා මැයි දින සැමරුමෙන් පසුවද තමන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

ඉදිරිපත් කරන්නේ පක්‍ෂ නායකයෙක්ද එසේත් නැතිනම් පොදු අපේක්‍ෂකයෙක් ද යන්න ගැන තීරණයක් ගත යුත්තේ ජනාධිපතිවරණය ප්‍රකාශවීමෙන් පසුව බව කී අමාත්‍යවරයා, එක්සත් ජාතික පෙරමුණ තුළ පොදු අපේක්‍ෂකයෙක් පිළිබඳ එකඟතාවක් ඇති වුවහොත් ඒ ගැන වෙනත් පක්‍ෂ සමඟ ද සාකච්ඡා කරන බව සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.

‘‘ඉදිරි ජනාධිපති අපේක්‍ෂකයා තමන්ද නැතිනම් වෙන කෙනෙකු ද යන්න අගමැතිතුමා මෙතෙක් ප්‍රකාශ කර නැහැ. එතුමා මැයි දිනයෙන් පසුත් මා සමඟ පොදු අපේක්‍ෂකයෙක් ගැන සාකච්ඡා කළා. එතුමා කටුවක් අස්සේ ඉන්න දේශපාලනඥයෙක් නෙවෙයි. එතුමාට දේශපාලනය හොඳින් තේරෙනවා.

ඉදිරිපත් කරන්නේ පක්‍ෂ නායකයෙක්ද නැතිනම් පොදු අපේක්‍ෂකයෙක් ද යන්න තීරණය කළ යුත්තේ ජනාධිපතිවරණයේදීයි.’’ යැයි ඇමතිවරයා කීවේය.

අවසන් තීරණය ?

මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් අපේක්‍ෂකයා කවුද යන්න ගැන අවසන් තීරණය ගන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ පසුව බවත්, එය පක්‍ෂ සම්ප්‍රදාය බවත්ය.

t

o

p