ලසන්ත ඝාතනය ගැන ගෝඨාගේ අලුත් බයිලාව

April 11, 2018

පසුගිය පෙබරවාරි 27 වැනි දා ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වශයෙන් පළවූ “ලසන්ත ඝාතනය පිළිබඳ පරීක්ෂණ අවුලක” නැමැති ප්‍රවෘතියට ප්‍රතිචාර දක්වමින්, ලසන්ත වික්‍රමතුංගව තිරිසන් ලෙස ඝාතනය කර දැමූ අවස්ථාවේ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියා වූ ද, ඝාතනයෙන් ටික දිනකට පසු “ලසන්ත කියන්නේ කවුද?” මැයෙන් බී.බී.සී. ගුවන් විදුලියට කුප්‍රකට සම්මුඛ සාකච්ඡාවක් දුන්නා වූ ද ගෝඨාභය රාජපක්ෂ, සටකපට පැහැදිළි කිරීමක් ඉදිරිපත් කොට තිබේ. ඒ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේ ගත යුතුව තිබූ නිවැරදි පියවර වශයෙන්, පුවත්පතකට එරෙහිව නඩුවක් පවා තමා පැවරූ බවත් ඔහු මේ පැහැදිළි කිරීමේ දී කියයි. එදා පුවත්පතකට නඩු පැවරූ ආකාරයෙන්ම අදත් ඔහු ‘දි අයිලන්ඞ්’ පුවත්පතට එරෙහිව නඩු පවරන්නේ ද? මන්ද යත්, ඔහුම කියන පරිදි, එදා ඔහු ගත් නිවැරදි පියවර වුණේ පුවත්පතකට එරෙහිව නඩු පැවරීම වූ බැවිනි.

“ලසන්ත කියන්නේ කවුද?” මැයෙන් උද්ධච්ච කමට ඔහු දුන් ඒ කුප්‍රකට සම්මුඛ සාකච්ඡාව එදා ලෝකයාව කම්පාවට පත් කෙළේය. “හැම ජනාධිපතිවරයෙක්වම විවේචනය කරන, පුංචි පත්තර කෑල්ලක ලියන්නෙක්. ඇයි එක මිනිහෙක් ගැන අහන්නේ? තව කොච්චර ඝාතන තියෙනව ද?” නීතිඥයෙකු විසින් පරිස්සමින් සකස් කරන්නට ඇතැයි සිතිය හැකි එම පිළිතුර තුළ, ඒ ඝාතනයේ වගකීම ඔහු පවරන්නේ, සරත් ෆොන්සේකා හමුදාපති වශයෙන් සිටියදී ඔහුගේ හෙංචයියෙකු වශයෙන් සැලකුණු බි්‍රගේඩියර් කැප්පෙටිවලානට ය. ඒ අතීතය නැවත මතක් කරන්නේ නම්, බි්‍රගේඩියර් කැප්පෙටිවලාන සහ තවත් හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු එදා මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුලින් හමුදාව භාරයේ තබාගෙන පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට පත් කළ බව කිව යුතුය.

එදා ගෝඨාභය මේ රටේ සර්ව බලධාරී ආරක්ෂක ලේකම් ය. ඉහත කී හමුදා නිලධාරීන්ව, රොහාන් ගුණරත්නගේ මැදිහත් වීම මත සහ ගෝඨාභයගේ අනුමැතිය ඇතිව පසුව නිදහස් කරන ලදි. බලය තිබුණු අවස්ථාවේ බි්‍රගේඩියර් කැප්පෙටිවලානව නිදහස් කළ එදා ආරක්ෂක ලේකම්වරයා, බලය නැතිව සිටින අද එම නිලධාරියා මත ඒ ඝාතනයේ වගකීම නැවත පැටවීම හාස්‍යජනක ය. කැප්පෙටිවලාන ඇතුලු නිලධාරීන් ලවා එම ඝාතනයේ වගකීම සරත් ෆොන්සේකා මත පැටවීමට උත්හාසයක් ගැනුණු බවත්, තමන්ට බල කෙරුණොත් එවැනි තත්වයක් තුළ තවත් ඝාතන ගැන හෙළිදරව් කිරීමට සිදු වන බව එම නිලධාරීන් විසින් රොහාන් ගුණරත්නට කීමත් නිසා, මේ නිලධාරීන්ව වහා නිදහස් කෙරුණු බවට එදා කටකතාවක් තිබුණි. ඒ ගැනත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද සොයා බැලුවොත් යෙහෙකි.

දූෂණය ගැන කෙසේ වෙතත්, සර්ව බලධාරී ආරක්ෂක ලේකම්වරයා ඇතුළු රාජපක්ෂ ආණ්ඩුව එදා ඝාතන සම්බන්ධයෙන් කිසිවක් කෙළේ නැත. ඒ අනුව, තාජුඩීන් මරණයට පත්වුණේ රිය අනතුරකිනි. ලසන්ත ඝාතනය කෙරුණේ එල්.ටී.ටී.ඊ. සංවිධානයෙනි. ඒ අනුව එම පරීක්ෂණය, ත්‍රස්ත-විරෝධී පොලිස් ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාකිස්ට වෙත භාර කෙරුණි. කීත් නොයාර් අනූනවයෙන් ජීවිතය බේරා ගත්තේ, මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට දෙන ලද දුරකථන ඇමතුම් දෙකකට පිංසිදු වන්නට ය. එසේම, එක්නැලිගොඩ පිටරටක යහතින් විසුවේය. දෙමළ “උදයන්” පත්තරේ මාධ්‍යකරුවන් ගැන අමතක කරන්න. ඔවුන්ට මෙලෝ සාධාරණත්වයක් මේ කපේ ඉටු නොවනු ඇත. දකුණේ මාධ්‍යවේදීන් මේ ගැන ලජ්ජා විය යුතුය. මේ අපරාධ විභාග කළ යුතු නැතැ යි හිටපු ආරක්ෂක ලේකම්වරයා අද කියන්නේ කෙසේ ද? ලසන්ත වික්‍රමතුංගව ඝාතනය කෙළේ සරත් ෆොන්සේකා බව, මේ ආරක්ෂක ලේකම්වරයා බලයේ සිටි කාලයේ රනිල් වික්‍රමසිංහ සහ ජෝසප් මයිකල් පෙරේරා කියූ කතාවක් අස්සේ අද සැඟවීමට මේ පුද්ගලයාට කෙසේ නම් හැකි වන්න ද? ඒ ප්‍රකාශය සත්‍යයක් වශයෙන් තමාගේ නිදහස සඳහා අද පාවිච්චි කරන ගෝඨාභය රාජපක්ෂ, ඒ ප්‍රකාශය අනුව එදා පියවර නොගත්තේ ඇයි? එදා ඔහු සිටියේ බල මර්මස්ථානයේ බව අද අමතක ද?

වර්තමාන ආණ්ඩුව, මේ යුද්ධය ජය ගත් වීරයාව, එනම් ඔහුව, (සරත් ෆොන්සේකාව මෙහිදී අමතක කෙරේ) හිරේ දැමීමට අද වලිකති යි හිටපු ආරක්ෂක ලේකම්වරයා කියයි. ආණ්ඩුව එසේ කරන්නේ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කිරීමේ සහ කොළඹ ලස්සණ කිරීමේ වාඩුව පිරිමහගන්නලු. තම සහෝදරයා විසින් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීම නිසා නන්නත්තාර වී සිටින යහපාලකයන් තමාව ‘හිර කිරීමට’ දැන් යත්න දරන්නේලු.

ඔහුගේ සහෝදරයා ඒ ජයග්‍රහණය ලැබුවේ ප්‍රධාන වශයෙන්, 2015 ට පෙර ඔවුන්ට විරුද්ධව මේ යහපාලකයන් නැගූ බරපතල චෝදනා සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව කිසිවක් නොකිරීම නිසා විය හැකි බව ඔහුට මෙහිදී අමතක වී ඇති සෙයකි. ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති ධුරයට පත්වීමට ඇති ඉඩකඩත්, මොවුන්ට හීන්දාඩිය දැමීමට හේතු වී ඇතිවා විය හැකිය. ඔහුගේ මේ පිළිතුර එන්නේ ඒ අස්සේ ය.

එදා සර්ව බලධාරීව සිටි මේ පුද්ගලයාට අද ත්‍රිවිධ හමුදාව හෝ පොලීසිය අස්සේ හැංගීමට නොහැකිව බයෙන් වෙව්ලන සෙයක් පෙනෙන්නට තිබේ. ඔහුම හඳුන්වන ‘මිග් ගනුදෙනුව’ ගැන ලසන්ත වික්‍රමතුංග එදා ලියන ලද වාර්තාවකට එරෙහිව ලසන්ත වික්‍රමතුංගට සහ ඔහුගේ පුවත්පතට එරෙහිව රුපියල් බිලියන ගණනක් වන්දි ඉල්ලා තමා නඩු පැවරූ බව ගෝඨාභය රාජපක්ෂ කියයි. “හාඞ් ටෝක්” නම් වු රූපවාහිනී සාකච්ඡාවේ දී එදා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි ගෝඨාභය රාජපක්ෂ ඉල්ලන රුපියල් බිලියන ගණනක වන්දිය ගෙවා ගත නොහැකි නිසා එම පුවත්පත (සන්ඬේ ලීඩර්) වසා දැමෙනු දැකීමට ඔහු කැමැත්තේදැ යි අසනු ලදුව ඔහු එක පැහැර දුන් පිළිතුර වුණේ, ‘සහතික වශයෙන්ම කැමතියි’ යන්නයි. එහෙත් එම පුවත්පතේ අයිතිය රාජපක්ෂවාදියෙකු වු අසංග සෙනෙවිරත්න අතට මාරු වූ පසු, ඔවුන්ගේ පැත්තෙන් ලැබුණු සමා භජනයකින් ගෝඨාභය රාජපක්ෂ සෑහීමකට පත්වුණි. බිලියන ගණනක වන්දියක් වෙනුවට මේ සමා භජනය ගෝඨාභය රාජපක්ෂ භාර ගන්නා අවස්ථාවේ, ඔහු බලයෙන් පහව සිටි බවත් මෙහිදී මතක් කර ගත යුතුය. එනම්, සර්ව බලධාරී ආරක්ෂක ලේකම් වශයෙන් ‘සන්ඬේ ලීඩර්’ පුවත්පත වසා දැමෙනු දැකීමට ඒ සා ආශා කළ ගෝඨාභය, බලයෙන් විසි වීමෙන් පසු උපක්‍රමික සමාවකින් පමණක් සෑහීමට කැමති වූ බවයි.

ඇමරිකාවේ පුරවැසි භාවය ඉල්ලා අස්කර ගැනීමට අවශ්‍ය අයදුම්පත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැන් ඔහු 2020 ජනාධිපති තනතුර සඳහා වන පළමු පියවර තබා තිබේ. ‘වියත් මග’ ඊට සාක්ෂි දරයි. තමා ඇමරිකානු පුරවැසියෙකු බව ප්‍රථම වරට ඔහු පිළිගත්තේය. ඒ ඇයි? එම පුරවැසි භාවය අවලංගු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් පිළියෙල කොට ඇති බැවිනි. මෙය විශ්වාස නොකරන කිසිවෙක් වෙත් නම්, කරුණාකර කැලිෆොර්නියාවේ වෙසෙන මල්රාජ් සිල්වාගෙන් අහන්න. ඔහු මේ කතාවේ ඇතුල් පැත්ත හොඳින් දනී. මේ කතාව පමණක් නොව, ගෝඨාභයගේ ඇමරිකාවේ පැටිකිරියත් ඔහු දනී. සමහර විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද මේ හෝඩුවාව ඔස්සේ ද යා හැකිය.

සමහර විට ‘දි අයිලන්ඞ්’ පුවත්පත ගෝඨා පිළිබඳ මේ ප්‍රවෘත්තිය මුල් පිටේ පළ කරන්නේම, සරත් ෆොන්සේකාගේ අවතාරය හොල්මන් කරන අතරවාරයේ ගෝඨාභය පිළිබඳ සංවාදය ඉස්මත්තට ගෙන ඔහුට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් සලසා දීමටම විය හැකිය. ‘දි අයිලන්ඞ්’ පුවත්පත, ශමීන්ද්‍ර ෆර්ඩිනන්ඞ්ස් සහ දයාන් ජයතිලක හරහා විවෘතවම මහින්ද රාජපක්ෂට සහ ගෝඨාභය රාජපක්ෂට හිතවාදීව ලීවේය. තත්වය එය නම්, ලසන්ත වික්‍රමතුංග තමන්ගේ අතීත සගයෙකු වීම පැත්තකින් තිබියේවා, පොදුවේ මාධ්‍ය සගයෙකුගේ ඝාතනයක් යට ගැසීමට උදව් වීම ගැන පුවත්පතක් වශයෙන් එය ලජ්ජා විය යුතුය.

තිර රචනය පැහැදිළි ය. 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මහින්ද රාජපක්ෂට පුළුවන් කමක් නැත. ‘පොහොට්ටුවේ’ තේරීම වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. කලින් ද සඳහන් කළ පරිදි මේ තත්වය ඇති කර ගත්තේ යහපාලන පාලකයන්මයි. රාජපක්ෂ රෙජිමයේ මහ කෙරුමන්ට එරෙහිව තිබූ බොහෝ පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිවක් නොකර වැනි වැනී සිටීම ගැන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම වැරදිකරුවෝ වෙති. ඔවුන් මේවා දෙස බැලුවේ වැරදි ආකාරයකිනි. කෙසේ වෙතත්, එදා පොරොන්දු වූ දේවල් සහ අද අවශ්‍ය කරන දේවල් කිරීමට ඉතිරිව ඇති කාලය අල්ප ය. තවදුරටත් ඊට කල්මැරිය යුතු නැත. තාජුඩීන්, ලසන්ත, එක්නැලිගොඩ, කීත් නොයාර් සහ ’උදයන්’ පුවත්පත ආදී පාර්ශ්ව යුක්තිය ඉල්ලා මග බලා සිටිති.

මහින්ද සහ ගෝඨා සමග තමන්ට එක්විය හැකි යැයි ජනාධිපති සිරිසේන සිතන්නේ නම් ඔහු ජීවත් වෙනවා ඇත්තේ සුරංගනා ලෝකයක විය යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමෙන් තමන්ට ජය ගත හැකි යැයි අගමැති වික්‍රමසිංහ සිතන්නේ නම් ඔහු වෙසෙනු ඇත්තේ අභූත ලෝකයක විය යුතුය. ඔවුන් දෙදෙනාගේ දේශපාලනික අනාගතය සුරක්ෂිත වන්නේ, අතහැරුණු පරීක්ෂණ දූවිලි ගසා දමා උඩට ගැනීමෙනි. ඒ අර්ථයෙන් ගත් විට, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යන දෙදෙනාම ගැට ගැසී ඇත්තේ එකම පෙකෙණිවැලකිනි. එකට සිටියොත් නැගිටිය හැකිය. වෙන් වුණොත්, සිරි ලකටම අබ සරණ ය.

t

o

p