ලේකම්වරියගේ මුදල් අවභාවිතය ගැන CID පරීක්ෂණ

June 28, 2017

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්වරියගේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාශය පරීක්ෂණ ආරම්භකර තිබේ. මුල්‍ය අපරාධ කොට්ඨාශය මෙම පරීක්ෂණ ආරම්භකර ඇත්තේ යහපාලනය සඳහා වෘත්තියවේදීන්ගේ සංසදය මුල්‍ය අපරාධ කොට්ඨාශයට කළ පැමිණිල්ලක් අනූවයි.
මීට අමතරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ටද මේ පිළිබඳව පැමිණිලි කර ඇත.
එම නිලධාරිනිය 2016 වර්ෂය සඳහා ලබාගෙන ඇති සම්පූර්ණ ඉන්ධනවල වටිනාකම රුපියල් 832,483 ක් වන අතර මෙම තත්ත්වය අස්වාභාවික භාවිතයක් බවද තහවුරු වී ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙලෙස අස්වාභාවික ඉන්ධන භාවිතයට හේතු වී ඇත්තේද එම නිලධාරිනිය අමාත්‍යංශයට අයත් වාහන තුනක් අවභාවිත ගැනීමයි. ඇයගේ පුතා සිය රාජකාරි කටයුතු කරනුයේද අමාත්‍යංශයට අයත් වාහනයකින් වන අතර එම නිලධාරිනියගේ සැමියාටද අමාත්‍යංශයෙන් මෝටර් රථයක් ලබා දී තිබේ.
මෙම නිලධාරිනිය 2016 වර්ෂය සඳහා නිවාඩු දින 64 ක් සඳහා මුදල් ලබා ගෙන ඇති බවද අමාත්‍යංශයේ ගිණුම් අංශය සඳහන් කරයි. මෙය පවතින රෙගුලාසිවලට පටහැනි හා නිතී විරෝධි වන භාවිතයකි. ඒ සාමාන්‍යයෙන් සේවකයකුට මාසකට වැඩකළ නිවාඩු දින උපරිමයක් ඇති අතර මෙම නිලධාරිනිය එම දින ගණන ඉක්මවා ගෙස් ඇත. මෙලෙස නිවාඩු දින වැඩකළ බවට සඳහන් කරමින් රුපියල් 271,752 ක් මුදල් ගෙන ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ලේකම්වරිය ගාල්ලේ පදිංචිකාරියක් වන අතර නිවාඩු දිනයන්හි නිතර නිතර එම නිවසට ගොස් ඇත්තේ ද අධිවේගි මාර්ගයෙනි. මෙලෙස  ගාල්ලට යාම සඳහා අවශ්‍ය මුදල් එම අමාත්‍යංශය තුළින් ලබාගෙන ඇති අතර එම අධිවේගි බිල්පත් ගාස්තුව රුපියල් 54,450 ක් ලෙසද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ ලේකම්වරිය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙන් තම පදිංචිය සඳහා පැලවත්තේ දියවන්නා ගාඩ්න්ද් හි නිවාසයෙන් ඇය විසින් පාවිච්චි කරන ලද විදුලි පරිභෝජනයට අදාළ විදුලි බිල නොගෙවා ටොරින්ටන් වල පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිවසකට පදිංචියටගොස් ඇති අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඵවසට ගෙවිය යුතු විදුලි බිල නොගෙවීම නිසා එම නිවසේ විදුලිය විසංධිකර ඇත.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සමයේ  කැබිනට් අනුමැතියකින් තොරව රුපියල් ලක්ෂ 150 ක මුදලක් වැය කර 2015 වර්ෂයේ දින දර්ශන හා දිනපොත් මුද්‍රණය කර ඇතත් මේ සම්බන්ධව අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකිරීමට මෙම ලේකම්වරිය අපොහොසත් වීම ගැටලූ සහගත බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඉහත දැක්වූ පරිදි රාජ්‍ය නිලධාරින්ගේ දූෂණ හා නිලධාරිවාදය ඉස්මතුවෙමින් පවතින බවත් මෙය රජය පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් අනාගතයේ ඉතා බරපතල ඛේදවාචකයකට ගොදුරුවනු ඇති බවත් එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

t

o

p