අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමට නැගෙනහිරෙන් නව පැමිණිලි 1,289ක්

March 23, 2014

LLRC Public Sittings in the East_230314

අවශ්‍ය නම් ස්වාධීන පරීක‍්ෂණ කණ්ඩායමක් පත් කරනවා – ලේකම්

චෙන්කලාඩි, වාකරේ හා මඩකළපුවේ පුද්ගලයන් 129 දෙනෙක් නැගෙනහිර පළාතේ සිය පළමු මහජන සාක‍්ෂි කැඳවීමට එක් වූ බවත් එහිදී නව පැමිණිලි 1,289ක් ලැබුණු බවත් පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා පැවසීය.

කොමිසමට අනුව යාපනයේ හා කිලිනොච්චියේ පැවති සාක‍්ෂි විමසීම්වලදී ලැබුණු පැමිණිලිවලින් කිහිපයක් නීතිමය කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී ඇත. අවශ්‍යතාවක් පැන නැඟුනහොත් විශේෂ අවස්ථාවන් පිළිබඳ සෝදිසි කිරීමට කොමිසම විසින් ස්වකීය ස්වාධීන පරීක‍්ෂණ කණ්ඩායමක් පත් කරනු ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය.

1990 – 2009 කාලපරිච්ඡේදය තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදුවූවා යැයි පැවසෙන පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම නැගෙනහිර පළාතේ සිය පළමු මහජන සාක‍්ෂි කැඳවීම මාර්තු 22 වනදා අවසන් කරන ලදී.

එහිදී චෙන්කලාඩි, වාකරේ හා මඩකළපුවේ පුද්ගලයන් 129 දෙනෙක් සාක‍්ෂි ලබා දුන්හ.

2014 මාර්තු 20 සිට 22 දක්වා පැවති සාක‍්ෂි විමසීමේ දී කොමිසමට නව පැමිණිලි 1,289ක් ලැබුණු අතර ඒවා කොමිසම විසින් පත් කරන ලද දෙමළ කතා කරන කාර්යමණ්ඩලයක් විසින් ලැයිස්තුගත කෙරුණි. මෙම නව පැමිණිලිකරුවන්ට කොමිසම ඉදිරියේ සාක‍්ෂි ලබා දීමට දිනයක් ලබා දෙනු ඇති බව කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා පැවසීය.

දිවයිනේ සියලු පළාත්වලින් කොමිසමට දැනට ලැබී ඇති 16,000ක් පමණ වන පැමිණිලිවලින් 5,799ක් විශ්ලේෂණය කොට පරිගණක දත්ත ගබඩාවකට ඇතුළත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මහජන සාක‍්ෂි කැඳවීමට නියමිතය. කොමිසමේ කාර්යයන් පිළිබඳ තොරතුරු මහජනයාට ලබා ගත හැකි වන අයුරින් කොමිසම විසින් නුදුරු අනාගතයේදී වෙබ් අඩවියක් ද දියත් කෙරෙනු ඇත.

මැක්වෙල් පරාක්‍රම පරණගම (සභාපති), දිමිංගු බඩතුරුගේ, ප්‍රියන්ති සුරංජනා විද්‍යාරත්න සහ මනෝ රාමනාදන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල කමිටුවට විමර්ශනය කිරීමට හා අවශ්‍ය පරීක‍්ෂණ පැවැත්වීමට බලය ලබා දී ඇති අතර කොමිසම විසින් ඒ සම්බන්ධ වාර්තාවක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතුය.

ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මැතිතුමා විසින් කොමිසමේ ධුර කාලය 2014 අගෝස්තු මස දක්වා තවත් සය මසකින් දීර්ඝ කරන ලදි.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p