ඩෙංගු ප්‍රශ්නයකින් මැතිසබය කල් තැබේ

June 20, 2017

ඩෙංගු රෝගීන් දහස් ගණනක් රෝහල්වල සිටියත් රජයට කිසිදු වැඩ පිළිවෙළක් නැතැයි කියමින් ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දැක්වූ විරෝධය හමුවේ පාර්ලිමේන්තුව දෙවරක් කල් තැබිමට කථානායක කරු ජයසූරිය මහතාට අද (20) සිදුවිය.
ඒකාබද්ධ විපක්ෂයේ හා ජවිපෙ මන්ත්‍රීවරු සභා ගැබ තුළ ඝෝෂා කිරීම හේතුවෙන් එක් වරක් පක්ෂ නායක රැස්වීමක් සඳහා විනාඩි විස්සකට සභාව කල් තැබූ අතර ඊට පිළිතුරු දීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැමිණෙන තුරු දෙවන වර විනාඩි තිස්පහක කාලයකට කල් තැබුණි.
රටේ හැටපන්දාහකට ඩෙංගු හැදිලා… දෙසීයකට ආසන්න ගාණක් මිය ගිහින්, ඇඳන් පිරිලා, රෝහල් වහලා, ජනාධිපති අගමැති බුදියගෙනද මෙච්චර දෙයක් වෙනකම්… නැතිනම් කෙහෙල් ගෙඩි බෙදුවද…. රටේ ජනතාව ඉන්නේ බියෙන් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ආවේගශීලීව ප්‍රශ්න කරද්දී කථානායකවරයා සභාවේ කටයුතු අත්හිටවූවේය.
ඩෙංගු උවදුර මැඩලීම සඳහා ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පාර්ලිමේන්තුවට හෙළිකරන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්න කළ අවස්ථාවේ ඇතිවූ විවාදයේදී අනුර දිසානායක මහතා මේ බව කීවේය.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට අගමැතිවරයා සභා ගැබෙහි නොසිටි අතර හෙට අගමැතිතුමා පැමිණි පසු උත්තරයක් දෙයි යනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒ අවස්ථාවේ ප්‍රකාශ කළේය.
තමන්ට මේ පිළිබඳව වහා පිළිතුරක් අවශ්‍ය බව විපක්ෂයේ මන්ත්‍රීවරු කියද්දී නැගී සිටි ප්‍රාථමික සංවර්ධන ඇමැති දයා ගමගේ මහතා අගමැතිතුමා, ජනාධිපතිතුමා සමග මේ මොහොතේ විශේෂ සාකච්ඡාවක් මේ ගැන පවත්වනවා යැයි කීවේය.
යළිත් නැගී සිටි විපක්ෂයේ සංවිධායකවරයා දැන් මොනවද කරන සාකච්ඡා… සාකච්ඡා නොවේ දැන් අවශ්‍ය වැඩ පිළිවෙළක්… මෙච්චර කාලයක් මොනවද කළේ? යැයි පවසද්දී දැඩි උණුසුම් තත්ත්වයක් සභාව තුළ ඇති වූහ.
ඒ අනුව පස්වරු 1.50 ට සභාවේ කටයුතු පක්ෂ නායක රැස්වීමක් සඳහා කල් තැබූ අතර යළි සභාවේ කටයුතු පස්වරු 2.10 ට රැස්විය. එහිදී කථානායක කරු ජයසූරිය මහතා කීවේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් රජය ගත් පියවර පැහැදිලි කිරීම සඳහා සෞඛ්‍ය ඇමැතිවරයා සභාවට පැමිණෙන නිසා එතෙක් සභාව ගෙන යන බව ප්‍රකාශ කළේය. ඒ අනුව සභාවේ මූලික කටයුතු ආරම්භ වුවත් පාර්ලිමේන්තු ප්‍රධාන රැස්වීම ආරම්භ වීමට ප්‍රථම සෞඛ්‍ය ඇමැතිවරයා නොපැමිණීම නිසා යළිත් සභාවේ කටයුතු සෞඛ්‍ය ඇමැතිවරයා පැමිණෙනතුරු පස්වරු 2.35 ට යළි අත්හිටුවා ඇමැතිවරයා පැමිණීමෙන් පසු පස්වරු 3.10 ට රැස්විය. සෞඛ්‍ය ඇමැතිවරයා ඩෙංගු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කිරීමෙන් පසු සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ විය.

t

o

p