ආගමික ගැටුම් මැඩලීමට මැතිසබයට නව නීති

June 15, 2017

ඕනෑම ආගමකට ජන වර්ගයකට විරුද්ධව ක්‍රියාකරනවා නම් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාග කොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
අරලියගහ මන්දිරයේදී මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මෙසේද කීය.
යම්කිසි ජන වර්ගයකට, ආගමකට විරුද්ධව ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන පිරිස, එමෙන්ම වෛරය පැතිර වීමට ක්‍රියාකරන අයට විරුද්ධව නීතිව අනුව පියවර ගැනීම සඳහා ‍පොලීසියට උපදෙස් දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා.
මෙම ක්‍රියාව අපේ ප්‍රතිපත්තිය යළිත් තහවුරු කිරීමක් පමණයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2015 ජනවාරි 8 වැනිදා දිවුරුම් දුන්නේ මෙරට ප්‍රධානියා ලෙස සංහිඳියාව ස්ථාපිත කිරීමටයි. එමෙන්ම ජාතික එකඟතාවය ඇති කිරීමටයි. වසර 30ක යුද්ධයක පැටලී සිටි අපට ඉන් පසුව මෙරට ජනතාව එකතු කර ඉදිරි ගමනක් යාමට තීරණය කර තිබෙනවා. අප සිංහලයකු, බෞද්ධයකු වීම පිළිබඳව ආඩම්බරයි. එමෙන්ම ශ්‍රී ලාංකිකයකු වීම පිළිබඳවත් ආඩම්බරයි. ශ්‍රී ලාංකිකයකු ලෙස මා සෑම ආගමකටම ගරු කරනවා. එමෙන්ම සෑම සංස්කෘතියකටම ගරු කරනවා. වෙනත් සංස්කෘතීන් වෙනත් ආගම් හෙළා දකිනවා නම් ඔහු සැබෑ ශ්‍රී ලාංකිකයෙකු වීමට හැකියාවක් නැහැ. යහපාලන රජය මෙරට සියලුම ශ්‍රී ලාංකිකයන්ට එක සමාන අයිතීන් සමග සාමයෙන් ජීවත් වීමට අවස්ථාව ලබාදෙනවා.
මුස්ලිම් ව්‍යාපාර සහ දෙවස්ථාන කිහිපයකට පහරදීම නිසා ඇති වූ තත්ත්වය පිළිබඳව පුළුල් විමර්ශනයක් කිරීමට ‍පොලීසියට භාරදී තිබෙනවා. ඒ ගැන ක්‍රියාකොට තත්ත්වය සමථයකට පත් කරාවි.
ඕනෑම ආගමකට, ජන වර්ගයකට විරුද්ධව ක්‍රියාකරනවා නම්, ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනවා නම් ඔවුන් පිළිබඳව විභාගකොට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. ඒ කටයුතු ‍පොලීසිය විසින් විභාග කරනවා. ඇතැම් අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. එම එක් කාරණයක්වත් අතහැර නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ යුතුයි.
2014 වසරේ වූ ආගමික භේද හමුවේ ඇති වූ හානිය අප සියලුම දෙනා අත්දැක තිබෙනවා. එම ගැටුම්වලින් අප රටේ එකමුතු බවට හානියක් ඇති වුණා. එමෙන්ම රටේ කීර්තිනාමයට හානියක් වුණා. නැවත ඒ තැනට ගමන් කිරීමට අප සූදානම් නැහැ. අපට එවැනි පහත් තත්ත්වයකට වැටීමට වුවමනාවක් නැහැ. එවැනි දේ කරන්නට ඉඩ දෙන්නෙත් නැහැ. එම නිසා ‍පොලීසිය මෙන්ම අනෙකුත් අදාළ ආයතන සියල්ලකටම නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා දැනුම් දී තිබෙනවා. අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නව නීති සම්පාදනය කරගැනීමටද හැකියාව තිබෙනවා.

t

o

p