විදේශ කටයුතු ඇමති රවී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී හමුවෙයි

June 7, 2017

ශ්‍රී ලංකාව සියළු අංශයන්ගෙන් ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ඒ පිළිබඳව තමා සතුටුවන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කරයි.

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත් වීමෙන් අනතුරුව සිදු කළ පළමු නිල සංචාරය වුයේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවීමයි. ඊයේ (06) සන්ධ්‍යාවේ නවදිල්ලි නුවරට ළඟා වූ රවී කරුණානායක මහතා අගමැති නිල නිවසේදී මෝදී අගමැතිවරයා හමු විය.

පැය භාගයක පමණ වෙලාවක් පැවැති මෙම හමුවේදී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පුළුල් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කළේය. දෙරට අතර වාණිජ කටයුතු, සංචාරක හා සංස්කෘතික අංශයන්ගේ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම සඳහාවන සාකච්ඡා මෙහිදී විශේෂත්වයක් ගනු ලැබීය. ඉන්දු ලංකා ධිවර ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝනය කිරීමේ චෝදනාවට, ඉන්දීය ධීවර බෝට්ටු 142 ක් පමණ දැනට ශ්‍රී ලංකා රජය භාරයේ පවතින අතර අදාළ නීතිමය කටයුතු නිමකිරීමෙන් පසුව ඉන් ධීවර බෝට්ටු 42 ක් පමණ නිදහස් කිරීමට හැකිවෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යවරයා, නරේන්ද්‍ර මෝදි අගමැතිවරයට පෙන්වා දුන්නේය. ධීවර කටයුතු අමාත්‍යාංශය මඟින් මෙතෙක් ගෙන ඇති පියවරයන්ට අනුව අදාළ කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවද කරුණානායක මහතා පැවසිය.

Ravi-and-modi1පසුගියදා ශ්‍රී ලංකාවේ හට ගත් ආපදා තත්ත්වයේදී ඉන්දීය රජය ඊට කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳව ද විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය රජයට ප්‍රසාදය පළ කළේය. ශ්‍රී ලංකා ජනාධිපතිවරයත් අගමැතිවරයාගෙත් විශ්වාසය තබා සිදු කළ එම උපකාරය කිසිදු මොහොතක අමතක කළ හැක්කක් නොවන බවද රවී කරුණානායක මහතා කීය.

එහිදී මෝදි අගමැතිවරයා පවසා සිටියේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට උදව් උපකාර කිරීමට ඉන්දීය රජය සුදානමින් සිටින බවයි. ශ්‍රී ලංකාව හා බරණැස් නුවර අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා ඉන්දීය රජය සැලසුම් කර ඇති බවත් එය නුදුරේදීම ක්‍රියාත්මක කළ හැකි බවත්, මෝදි අගමැතිවරයා පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාවේ සංචාරක ප්‍රවර්ධන කටයුතුවලට අදාළ ඉන්දියාව තුල සිදු කරන ව්‍යපෘති ඉතා ජනප්‍රිය වී ඇති බව පෙන්වා දුන් මෝදි අගමැතිවරයා දෙරට අතර සංචාරක කටයුතු පුළුල් කර ගැනීම වැදගත් බවද කියා සිටියේය. එමෙන්ම ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින වාණිජ කටයුතුවලට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණ.

මෙම හමුවෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා ජවහර්ලාල් නේරු බවන් හිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් (Sushama Swaraj) මහත්මිය හමුවිය.  එහිදීද ශ්‍රී ලංකාවත් අතර පවතින  රාජ්‍යතාන්ත්‍රික සබඳතා පුළුල් කර ගැනීමට අදාළ සාකච්ඡා පවත්වන ලදී.

t

o

p