අල්ලස් කොමිසම, මහා පරිමාන දුෂණ කොමිසම, දුෂණ ලේකම් කාර්යාලය දැන් බෝඩ් ලෑලි විතරයි

May 22, 2017

අල්ලස් කොමිසම, මහා පරිමාන දුෂණ කොමිසම, දුෂණ ලේකම් කාර්යාලය දැන් බෝඩ් ලෑලි විතරයි. එෆ්.සී.අයි.ඩී.ය ට වහන්න එදා හොරුත් – මෙදා හොරුත් සැදී පැහැදී ඉන්නවා – දුෂණ විරෝධී පෙරමුණ උපදේශක කීර්ති තෙන්නකෝන් කියයි
ලැසිල් ද සිල්වා ලේකම් ධූරයෙන් ඉවත් කරලා මාසයක් යනකොට ‘බරපතල වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව බෝඩ් ලෑල්ලක් වුණා. දිල්රුක්ෂි ඩයස් ඉවත් කිරීමෙන් පසුව ‘අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව දේශපාලනිකව සංවේදී නඩු පැවරීම් සම්පූර්ණයෙන්ම නැවතී තිබෙනවා. දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයේ ප්‍රතිපාදන කැපුවාම ‘එෆ්.සී.අයි.ඩී.ය’ නිකම්ම පූස් පැටියෙක් බවට පත් වෙනවා. යහපාලන රජයේ අල්ලස් හෝ දුෂණ විමර්ශනය දැන් බෝඩ් ලෑල්ලක් විතරයි. එදා ආණ්ඩුවෙත්, මෙදා ආණ්ඩුවෙත් අන්ත දුෂිතයින් දැන් එකම පිගානේ දුෂණය වලදනවා යැයි දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
රාජගිරියේ අද පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් තවදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා ‘බරපතල වංචා, දුෂණ, විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව’ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ගෝඨාභය, බැසිල්, නාමල්, ශෂින්ද්‍ර, මහින්දාන්නද, විමල් විරවිංශ, සරත් කුමාර, ජගත් පුෂ්පකුමාර, සේමසිංහ වැනි තෝරු මෝරු ගැන විමර්ශන කළා. කැදවා ප්‍රශ්න කළා. දමයන්ති ජයරත්න අතිරේක ලේකම්වරිය කැබිනට් අමාත්‍යවරයෙකුගේ පිහිටෙන් රටින් පනින්නේ ජනාධිපති කොමිසමේ කැදවීමට බිය වූ නිසයි. රිෂාක් ගේ ලක්සතොස නිසා කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා ඉවත් කලා. අද එය බෝඩ් ලෑල්ලක් විතරයි. එකම නඩුවක් වත් පවරලා නෑ. මුදල් ගිලින, විශ්‍රාමිකයින්ට පඩි ගෙවන ජනතා බදු මුදල් ගිලින වැඩ නැතිව පඩි ලබන තැනක් වෙලා. බෝඩ් ලෑලි කොමිසමක් වෙලා.
ඊලගට දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට අල්ලස් කොමිෂන් සභාවේ වැඩ කරන්න බැරි තැනට පත් කලා. ඉල්ලා අස්වෙන්න සැලැස්වුවා. දේශපාලනික වශයෙන් සංවේදී විමර්ශන 22 ක් ඇය අවසන් කර තිබුණා. අපි එදා අල්ලස් කොමිසමට ඉක්මනට වැඩ කරන්න කිව්වා. දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඉවත් කාලාට පස්සේ අද මහින්ද ගේ අල්ලස් කොමිෂන් සභාවෙත්, මෛත්‍රී ගේ අල්ලස් කොමිසමෙත් කිසිම වෙනසක් නෑ. දෙකේම වැඩ නෑ සද්දේ විතරයි.

දැන් මේ සන්තෑසියම දුෂණ විමර්ශන ලේකම් කාර්යාලයට සිදු කරලා තියෙනවා. විමර්ශන නිලධාරීන්ට වාහන නෑ. ගමන් වියදම් නෑ. එහි සෘජු බලපෑම සිදු වුණේ ‘එෆ්.සී.අයි.ඩී. එකටයි. තව ටික කාලෙකින් එයත් බෝඩ් ලෑල්ලක් විතරක් වේවි.
යහපාලනය හොරු අල්ලන්නේ මෙහෙමයි. ලොකු කථා වේදිකාවල කියනවා. දක්ෂ අවංක නිලධාරීන් තමන්ගේ උපරිමය කරලා හොරු අල්ලනකොට ඒ ආයතන අක්‍රීය කරනවා. එජාපයට මහින්ද රාජපක්ෂ පවුල රකින්නට අවශ්‍යයි. ඔවුන් සමග සිටි නිලධාරීන් රකින්න අවශ්‍යයි. දේශපාලන පළිගැනීම්වලට ලක් වුණු එක්සත් ජාතික පාක්ෂිකයින් සහන නැති වුනාට ඔවුන් පීඩා කරපු නිලධාරීන් ඉහළම තැන්වල දැන් හොදින් වැජඹෙනවා.
යහපාලන ආණ්ඩුවක් කියලා මහින්ද රජයේ හොරකම් උපරිමයෙන් සිදු කරපු අන්ත දුෂිතයෝ රැසකට ශ්‍රීලනිප වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශය ලැබුණා. ඔවුන් තමන්ගේ මිතුරන්, පරණ ස්වාමියන් රැකගන්න දැන් සියළු දේ කරනවා. මේ ආණ්ඩුව දැන් වංචා දුෂණ ගැන කථා කරන්නේ ‘අනේ උඹලා වගේ මෝඩයෝ රැලක්’ කියන්නා වගේ ජනතාවට හිනාවෙන ගමන් යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ හිටපු සභාපති රැසිරිපාල තෙන්නකෝන් හා ක්‍රිෂ්මාල් වර්ණසුරිය යන මහත්වරුන් ද සහභාගි විය.

t

o

p