පසුගිය දෙමසක තුල ජාත්‍යන්තරව හා ජාතිකව ආර්ථික ජයග්‍රහණ රැසක් ලංකාවට හිමිවුණා

May 17, 2017

පසුගිය දෙමසක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හා ජාතික වශයෙන් විශාල ආර්ථික ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකි වුණු බවත්, මීට පෙර ශ්‍රී ලංකාවේ එවන් යුගයක් උදා වී තිබුණේ නැති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

වික්‍රමසිංහ මහතා එසේ පැවසූයේ චීන සංචාරය අවසානයේ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් හමුවෙමිනි.

එහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ නායකත්වයෙන් යුත් සම්මුතිවාදී ජාතික ආණ්ඩුව, ප්‍රචාරක කටයුතු වලින් ජනතාව මුලා කිරීම වෙනුවට, ජනතා සුභ සාධනය හා සංවර්ධනය වෙනුවෙන් සැබෑ ක්‍රියාන්විතයක නිරත වෙමින් සිටින බවය.

එහිදී වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

“චීන මහජන සමූහාණ්ඩුවේ එක් තීරයක් – එක් මාවතක් සමුළුවට අප සහභාගි වුණා. අනාගතයේ දී එක් තීරයක් – එක් මාවතක් වැඩසටහනට සම්බන්ධ වන රටවල් ආර්ථික සහ වෙළෙඳ සබඳතා මෙන්ම සම්බන්ධීකරණ කටයුතු ඇති කිරීම පිළිබඳව එකඟත්වයකට පැමිණ ඒ පිළිබඳව රාමුවක් සකස් කර ගැනීමට මෙහිදී හැකියාව ලැබුණා. එම රාමුව අනුව එක් එක් රටවල් ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට නියමිතයි.

චීන රජය මෙම සමුළුවේ කැඳවීම කළත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ද එක් වන බව ප්‍රකාශ කළා. තවත් සංවිධාන මේ සඳහා එකතු වේවි යැයි අපට බලාපොරොත්තු තැබිය හැකියි. වැදගත්ම කරුණ වන්නේ ශ්‍රී ලංකාව ඊළඟ පියවරට ගමන් කිරීමයි. යටිතල පහසුකම් පමණක් නොව, මෙම මාර්ගය තුළින් ශ්‍රී ලංකාවේ වෙළෙදාම දියුණු කිරීම, කර්මාන්ත දියුණු කිරීම, ආර්ථිකය දියුණු කිරීම මෙන්ම රැකියා ලබා දීමට ද හැකියාව ලැබෙනවා.

මේ කරුණු පිළිබඳව මා ඇතුලූ මෙහි පැමිණි අමාත්‍යවරු, චීන ජනපති සහ අගමැති හමුවී සාකච්ඡා කළා. පසුගිය වසරේ දී එළැඹුණු ගිවිසුමට අනුව ඇරැඹූ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳවත් මෙම හමුවේ දී සාකච්ඡා කළා. පෝට් සිටි ව්‍යාපෘතිය, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ ප්‍රගතිය දෙස බලා අප ඊළඟ පියවරට යා යුතුයි. පළමුවෙන්ම හම්බන්තොට සහ කොළඹ වරායන් ලබන දියුණුව නිසා කොළඹ නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමටත්, දෙවැනුව හම්බන්තොට කර්මාන්තකරණය ඇති කිරීමටත්, ඒ සඳහා චීන සහ අනෙකුත් රටවල ආයෝජකයන්ට අවස්ථාව ලබාදීම පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වුණා.

එමෙන්ම වරාය නගර ව්‍යාපෘතිය මූල්‍ය නගරයක් බවට පත් කර කලාපීය මූල්‍ය මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම සඳහා ගත යුතු පියවරයන් ගැන අප සාකච්ඡා කළා. මෙම වැඩසටහන් ක්‍රියාත්මක කර රටක් ලෙස ඉදිරියට යාම අපේ බලාපොරොත්තුවයි.

ශ්‍රී ලංකාවේ දියුණුව සඳහා ඊළඟ වසර කිහිපයේ දී ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආධාර කරන බව චීන ජනපති සහ අගමැති ප්‍රකාශ කළා. එක් මාවතක් – එක් තීරයක් වැඩසටහන ඉතා සාර්ථක ව්‍යාපෘතියක් බව කිව යුතුයි.

පසුගිය මාස දෙක ඇතුළත ශ්‍රී ලංකාවට වැදගත් සුවිශේෂී සිදුවීම් රැසක් වූ බව කිව යුතුයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියාවට ගොස් ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිතුමා මුණ ගැසුණා. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා. ඊට පෙර මා ඉන්දියාවට ගොස් මෝදි අගමැතිතුමා හමු වුණා. එමෙන්ම අප්‍රේල් දෙවැනි සතියේ දී මා ජපානයට ගොස් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා මුණගැසුණා. ඒ තුළින් විශාල ආර්ථික සහන රැසක් ශ්‍රී ලංකාවට හිමි වෙනවා.

මෙම 18 වන දින ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ලැබීමට නියමිතයි. ඒ අනුව කෙටි කාලයක් තුළ බලවත් රාජ්‍ය හා සංවිධානවලින් අපට ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වුණා. අපේ මේ ව්‍යායාමය රට වෙනුවෙන් බව කිව යුතුයි. මීට පෙර කිසි දිනෙක මෙවන් යුගයක් තිබුණා දැයි මා ප්‍රශ්න කරනවා.

අප බෙර ගහන්නේ නැහැ. පුවත්පත්වලට කතා කරමින් ඉන්නේ නැහැ. කට වහගෙන රටට වැඩ කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා

මේ වසරේ දී විශේෂ මූල්‍ය ප්‍රදානයන් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට චීන ජනාධිපතිතුමන් එකඟතාවය පළ කළා. ඒ අනුව මේ වසරේ දී යුවාන් මිලියන 400 ක් ලැබීමට නියමිතයි. 2018 – 2020 වසර සඳහා යුවාන් බිලියන දෙකක් ලබා දෙන බවත් චීන ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. මීට පෙර චීනයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් පැමිණියත් මෙතරම් මුදලක් ලබා දෙන බවට ප්‍රකාශයට පත් කළ පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම එක් තීරයක් – එක් මාවතක් සම්මේලනය සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමන්ගේ පැමිණීම චීන ජනපතිතුමන්ගේ විශේෂ ඇගැයීමට ද ලක් වුණා.

ඊට අමතරව සේද මාවත අරමුදලත්, ආසියානු සංවර්ධන බැංකුවත් ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමට නියමිතව තිබෙනවා. අගමැතිතුමන්ගේ චීන සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා බෙහෙවින් සුභවාදී වූ බව චීන ජනාධිපතිතුමන් සමග කළ සාකච්ඡාවේ දී අනාවරණය වුණා. එමෙන්ම වාණිජ සහ ආයෝජන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ද ඇගැයීමට ලක් වුණා.

එහිදි අදහස් දැක්වූ විශේෂ ව්‍යාපෘති භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා

චීනය ලොව සංවර්ධනය වන රටවලට වැඩිපුරම ආධාර ලබා දෙන රටයි. එමෙන්ම දියුණු වූ රටවල් සමග වැඩිපුරම වෙළෙදාම් කරන්නේ ද චීනයයි. චීනයේ නව අදහස් තුළින් ඔවුන් මූල්‍යමය ආධාර ලබාදීම මෙන්ම එම රටවලට කර්මාන්ත සහ වෙළෙඳ අංශ සඳහා අතහිත ලබාදීමට බලාපොරොත්තු වෙනවා.

බොහෝ විට වර්තමාන ලෝකයේ ආර්ථික හැලහැප්පීම් ඇති වෙනවා. එක් මාවතක් – එක් තීරයක් යන සංකල්පයෙන් චීනය බලාපොරොත්තු වන්නේ එම තත්ත්වයට විසඳුමක් ලබාදීමයි. වර්තමානයේ ශ්‍රී ලංකාවට වැඩිපුරම ආධාර ලබාදෙන රට වන්නේ චීනයයි. අග්‍රාමාත්‍යතුමන්ගේ චීන සංචාරයත් සමග එම ආධාර මුදල් තවත් වැඩි වීමට නියමිතයි.

ලංකාව සාම්ප්‍රදායික අපනයන මතම රැඳී සිටිය යුතු නැති බවත්, කර්මාන්තකරණයට ගමන් කළ යුතු බවත් චීනයේ අදහසයි. හම්බන්තොට වරාය පිළිබඳව කතා කළහොත් එය වරායක් ඉදිකිරීමක් පමණක් නොවන බව කිව යුතුයි. ශ්‍රී ලංකාව කර්මාන්තකරණයට ගෙන ගොස් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම එහි අරමුණයි. වෙළෙදාම් කරන්නේ නැතිනම්, වරායට නැව් එන්නේ නැති නම් එම ඉදිකිරීම්වලින් පළක් වන්නේ නැහැ. කොතරම් උසස් තත්ත්වයේ ගුවන් තොටුපොළවල් හැදුවත් ඒවාට ගුවන් යානා එන්නේ නැතිනම් නිකරුණේ වල් බිහි වෙනවා.

දුප්පත් රටවලට මුදල් දීමෙන් නොනැවතී එම රටවල් කර්මාන්තකරණය කරා රැගෙන යාම චීනයේ අදහස බව චීන ජනාධිපතිතුමන් සඳහන් කළා. යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් නතර විය යුතු නැහැ. කර්මාන්තකරණය තුළින් ඉදිරියට යා යුතුයි. ශ්‍රී ලංකාව වෙළෙදාමෙන් පොහොසත් රටක් බවට පත් කිරීම චීනයේ එක් අරමුණක් වී තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා

චීනයෙන් අපට ලැබී ඇති අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත යුතුයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම මේ වසර අවසන් වීමට පෙර අත්සන් කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා චීන රජයේ උපරිම සහයෝගය ලැබෙනවා. එමෙන්ම කර්මාන්තකරණය තුළින් අපේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හැකියාව ලැබෙනවා.

t

o

p