සුරා බදු වෘත්තීය සමිති හා මුදල් ඇමති අතර පැවැති සාකච්ඡා සාර්ථකයි

May 17, 2017

සුරා බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් වෘත්තීය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (16)  මුදල් අමාත්‍යංශයේ දී පැවැතිවිණි. වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරියකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් වන බවයි.

වසර 20ක පමණ කාලයක සිට දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධුරය සඳහා දේශපාලන වුවමනාවන් මත පත් කෙරුණේ පරිපාලන සේවාවේ ඉහළ නිලධාරීන් බව වෘත්තිය සමිති නියෝජිතයෝ අවධාරණය කළහ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ද කලක් තිස්සේ පැවැති මෙම ගැටලුව මේ වන විට නිවැරැදි කර ඇති බව පෙන්වා දුන් එම නියෝජිතයන්, අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ සිය දෙපාර්තමේන්තුව සඳහා ද එවැනි පත් කිරීමක් කරන ලෙසයි.

එහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ 2015 ජනවාරි මස 08 වෙනිදා ජනතාව යහපාලන රජය පත් කර ගනු ලැබුවේ රටේ සෑම ක්ෂේත්‍රයකම වෙනසක් අපේක්ෂාවෙන් බවයි. එම වෙනස සුරා බදු දෙපාර්තමේන්තුව තුළ ද යථාර්ථයක් බවට පත් කරමින් 2014 දී රුපියල් කෝටි 3900ක්ව පැවැති සුරා බදු ආදායම 400%කින් ඉහළ නංවමින්, අද වන විට රුපියල් කෝටි 13800 දක්වා එය ඉහළ ගොස් ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.

Ravi-meeting1
එබැවින් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ අපේක්ෂාව වන්නේ ජනතාව අපේක්ෂා කළ වෙනස තව දුරටත් ඉදිරියට රැගෙන යාම බව අමාත්‍යවරයා පැවැසීය.

වෘත්තීය සමිති ඉදිරිපත් කළ යෝජනාව, අතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුගේත් අනුමැතිය සහිතව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නව පත් කිරීම සිදු කිරීමට සූදානම් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ප්‍රධාන සුරා බදු පරීක්ෂක හා පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුරා බදු නිලධාරී සංගමය, සමස්ත ලංකා සුරා බදු සැරයන් හා නියාමක සංගමය, ශ්‍රී ලංකා සුරා බදු නිලධාරී සංගමය, එක්සත් සුරා බදු පරීක්ෂක හා පරීක්ෂකවරියන්ගේ සංගමය, ශ්‍රී ලංකා සුරා බදු මහ සැරයන් හා සැරයන් සංගමය, කාන්තා සුරා බදු නිලධාරීන්ගේ සංගමය, සුරා බදු නියාමක සංගමය සහ සුරා බදු රියදුරු සංගමය නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

මුදල් අමාත්‍යාංශයේ නීති විරෝධී මත් ද්‍රව්‍ය වැටලීමේ විශේෂ ඒකකයේ ප්‍රධානී වින්ග් කමාන්ඩර් රවී ජයසිංහ මහතා ද ඊට එක් ව සිටියේ ය.

t

o

p