වත්මන් රජයේ වසර දෙකක කාලය පිළිබඳ අමෙරිකාවේ පැසසුම්

May 15, 2017

යහපාලන රජය යටතේ ගෙවී ගිය වසර දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ස්ථාවරභාවයකට පැමිණ ඇතැයි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල සභික බිල් ජෝන්සන් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්වා දෙන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් ව රට පාලනය කිරීම සුවිශේෂී අවස්ථාවක් ලෙස දකින බවයි. ජෝන්සන් මහතා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සමග අද (15) පෙරවරුවේ පැවැති හමුවක දී ය. හමුව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු උතුරේ ද සංචාරයක නිරත වූ බිල් ජෝන්සන් මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවේ කියා සිටියේ එම ප්‍රදේශවල ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ කටයුතු සේම සංවර්ධන කටයුතු ද සාර්ථක බවයි. තව දුරටත් උතුරේ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යමක් වේ නම් ඒ සඳහා ද රජය පියවර ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද හෙතෙම කියා සිටියේ ය.

මෙහි දී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ යහපාලන රජය යටතේ රටේ සියලු ප්‍රදේශ සංවර්ධනය වෙමින් පවතින බවයි. අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ
ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර වශයෙන් ද සාර්ථකත්වය කරා ළගාවෙමින් ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය. පසුගිය දා වොෂිංන්ටන් නුවර දී අවසන් වූ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අර්ධ  වාර්ෂික සමුළුවේ දී ලද  ප්‍රතිචාර ඊට කදිම නිදසුනක් බව ද හෙතෙම කියා සිටියේ ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කෙෂාප් මහතා ද එක්ව සිටියේ ය.

t

o

p