ලංකාවේ රාජ්‍ය සේවය දියුණු කරන්න සහයෝගය ලබා දෙනවා – මැලේසියා අග්‍රාමාත්‍ය

May 15, 2017

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කළමනාකරණ හැකියාවන් වැඩි දියුණු කරලීමට සහ මැලේසියානු තාක්‍ෂණික සහයෝගීතා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය සේවකයින් වැඩි වැඩියෙන් පුහුණු කරලීමට සහයෝගය ලබා දෙන බව මැලේසියානු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් (Hon. Najib Razak) මහතා පැවසීය.

14 වන දා දහවල් බෙයිජිං නුවර ‘එක් තීරයක් – එක් මාවතක්’ මහ සමුළුව අතරවාරයේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් රසාක් මහතා පැවසූයේ ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සබඳතා තව තවත් ශක්තිමත් කරලීම තම අපේක්‍ෂාව බවය.

එක් තීරයක් – එක් මාවතක් ප්‍රයත්නය ඔස්සේ දෙරටට ලබා ගත හැකි ප්‍රතිලාභයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

දෙරට අතර වෙළඳ ගනුදෙනු ශක්තිමත් කරලීම සහ මැලේසියානු ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරලීම සඳහා පෙළඹවීම පිළිබඳව ද දෙරටේ නියෝජිතයෝ අදහස් හුවමාරු කර ගත්හ.

ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් සකස් කරලීමේ පසුබිම පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, කඩිනමින්ම ඒ සඳහා මූලික පියවර ගත යුතු බවට ද එකඟත්වයකට එළැඹිණි.

Ranil--Najib-Razak1
විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

t

o

p