ලංකාව සතු අත්දැකීම් ලබා දෙන ලෙස සුකී ඉල්ලයි

May 15, 2017

මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඔස්සේ සහයෝගය ලබා දෙන ලෙස මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී (Hon. Aung San Suu Kyi) මහත්මිය පැවසීය.

14 වන දා දහවල් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙමින් සුකී මහත්මිය පෙන්වා දුන්නේ මියන්මාරය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් එහි ස්ථාපිත කිරීම බවය.

ඒ සඳහා ශ්‍රී ලංකාව වෙතින් ලබා දිය හැකි පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් මියන්මාරයේ සංචාරයක් සඳහා සහභාගී කරවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර පැවති ඓතිහාසික සම්බන්ධතා පදනම් කර ගනිමින්, අනාගත සබඳතා ශක්තිමත් කරලීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

අවුන් සාන් සුකී මහත්මියට ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන මෙන් වික්‍රමසිංහ මහතා ආරාධනා කළ අතර, තමන් ශ්‍රී ලංකාවට පැමිණීමටත් මහනුවර නගරය දැක බලා ගැනීමටත් ඇල්මෙන් පසුවන බව සුකී මහත්මිය ප්‍රකාශ කළාය.

Ranil-Zuki1
විශේෂ කාර්ය භාර අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු යන මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

t

o

p