කොළඹ නගරය අපි විධිමත්ව ගොඩනගනවා

May 2, 2017

“කොළඹ කාක්කෝ කියලා අවමානයට ලක් කරපු ජනතාව ලංකාවේ රාජාලියන් පිරිසක් බවට ඉහළට එසැවීම අපගේ අධිෂ්ඨානයයි”
ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමා  මෙම අදහස් පළ කලේ, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනයේ’ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. පිටකොටුව බෝධිරාජ මාවතේ  පැවැති මෙම මැයි දින සැමරුම ජාතික හෙළ උරුමය විසින් සංවිධානය කරන ලද ප‍්‍රථම මැයි දින සැමරුම වේ. මෙයට සමගාමීව කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විශේෂ පෙළපාලියක් ද ආරම්භ වූ අතර ඉන් අනතුරුව ඒ.ඊ. ගුණසිංහ මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර ඉන් අනතුරුව පිටකොටුව බෝධිරාජ මාවතෙහි පැවති සැමරුම් උත්සවයේදී එසැවියන් (නාට්ටාමිවරුන්) 1500 කට ජීවිත රක්ෂණ පිරිනැමීම ද සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘අපේ රටේ ඉතිහාසයේ මේ කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින උළෙලවල් 17 න් 1ක් විදිහට මේ මැයි රැළිය අද මෙතන පැවත්වුණාට ඉතිහාසයේ දවසක තීරණය වෙයි,  කොටුවේ පිටකොටුවේ අව්වට වැස්සට වේලෙන අපේ පීඩිත ජනයාගේ ඒ දිරිය මැයි දිනය, අනාගතයේ දිනක මේ රටේ නව මගක් වෙනස් කරපු හැරවුම් ලක්‍ෂයක් බිහිකරපු තැනක් හැටියට. ඔබ සියළු දෙනාම සහභාගීවෙලා ඉන්නේ රට නව මගක ගෙනියන, අලූත් හැරවුම් ලක්‍ෂයක බව මතක තබා ගත යුතුයි. කොළඹ නගරය කොච්චර ලස්සන කළත්, බි‍්‍රතාන්‍යයන්ගේ දවසේ ඉඳන්  මේ අව්වට වැස්සට වේලිණු, තෙමුණු මිනිසුන්ගේ ජීවිත කොළඹ නගරය ඇතුලේ තවම වෙනස් වී නැහැ. එදා පෘතුගීසීන්ට, ලන්දේසීන්ට විරුද්ධ මේ බිම මුදාගන්න ජීවිත කැප කරපු ජනතාවගේ ලේ වලින් මේ කොටුව පිටකොටුව තෙත්වෙලා තිබෙන්නේ.

එදා මේ රටේ වැඩකරණ ජනතාවගේ පළවෙනි සටන ඒ.ඊ. බුල්ජන්ස් මැතිතුමා මුද්‍රණ කර්මාන්ත කරුවන්ගේ ඒ සමිතියෙන් ආරම්භ කළා 1893දී. ඊට පස්සේ මේ පිටකොටුවේ කොටුවේ වැඩකරපු ජනතාව, කරත්ත වැඩකරපු, රෙදි හෝදපු, කසල ඇදපු මේ හැම ජන කණ්ඩායමක්ම ශක්තිමත්ව සංවිධානය කරන්න ඒ ලිස්බාවේ පින්තු මැතිතුමා විශේෂයෙන්ම එදා දුම්රිය වැඩවර්ජනය වෙලාවේ, අනගාරික ධර්මපාල මැතිතුමා ඉදිරිපත් උනා. ඒ වගේම මේ වැඩකරන ජනතාව වෙනුවෙන් විධිමත් වැඩසටහනක් කරන්න ඒ ජාතික නායකයින්ගේ ආභාෂයෙන් ඒ.ඊ. ගුණසිංහ මැතිතුමා ඉදිරිපත් උනා. එතුමාගේ නමින් තමයි අද මේ ගුණසිංහපුර තිබෙන්නේ.

Champika-Ranawaka2ඒ ජාතියේ පියවරු හැටියට හඳුන්වන්න පුළුවන් අනගාරික ධර්මපාලතුමාලා, ඊ. ඒ.බුල්ජන්ස්, ඒ.ඊ. ගුණසිංහලා වෙනුවට මාක්ස් ලෙනින්, එංගල්ස්ලා එල්ලගත්ත ව්‍යාාපාරයක් මේ රටේ බිහි උනා. අද සිට ඒ මාක්ස්,ලෙනින් එංගල්ස්ට වැඳ පුදාගෙන ගිය මේ රටේ වැඩකරන ජනතාව මේ රටේ ඉතිහාසයෙන් උපන් අනගාරික ධර්මපාලතුමාලා, ඊ. ඒ.බුල්ජන්ස්, ඒ.ඊ. ගුණසිංහලා පස්සේ යන නව බලවේගයක් බවට පත්වෙනවා කියන එක සෑම කෙනෙකුටම අපි බොහොම අභිමානයෙන් කියනවා.

මේ රටේ වැඩකරන වරායේ, දුම්රියේ ජනතාවට, සමහරු පෙන්වලා දුන්නේ මොකක්ද වැඩ වර්ජන කරන තරමට තමයි කම්කරු පංතියේ ජනතාව ශක්තිමත් වෙන්නේ කියලා. තේවත්තේ, පොල් වත්තේ, පතලේ,වැඩකරණ කම්කරුවාට පෙන්වලා දුන්නේ වැඩකරන එක නවැත්තුවොත් තමයි කම්කරු පන්තිය ශක්තිමත් වෙන්නේ කියලා. කපමු, කොටමු, බිඳිමු කියන සංකල්පය තමයි එතන තිබුණේ. එයින් යම් යම් අයිතිවාසිකම් ලැබුණත්, රට රටක් හැටියට පසුපසට ගියා.

වැඩ වර්ජනවලින් පත්ලටම වැටී තිබෙන කොළඹ වරාය නැවත අපට මුල් තැනට ගෙන ඒමට අවශ්‍යයි.  ඔබේ දරුවන්ට නැව් හදන්න, නැව් පදවන්න, සේනාංක ප‍්‍රධානීන් කරන්න පුළුවන් කොළඹ වරායක් ඒ මහා කොළඹ වරාය නගරයේ අපි ගොඩනගනවා. ඒ සඳහා අත්වැල් බැඳ ගන්න එන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. කොළඹ වරාය නගරයේ රත්තන්ට වැඩවර්ජන බැහැ, ඒ වරාය නගරය තිබෙන්නේ වැඩකරණ ජනතාවගේ දරුවන්ට ජයගන්න යන මාවතට විතරයි කියලා අපි මතක් කරන්න  ඕනේ.

Champika-Ranawaka1වසර එකසිය පනහක් තිස්සේ මේ කොළඹ නගරයේ බර උසලපු මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්න, රක්ෂණ ආවරණයක් දෙන්න, අසනීපයක් උනහම උදව් කරන්න, ඔවුන්ගේ දරුවන්ට උදව් කරන්න වැඩපිළිවෙලක් නායකත්වයක් නැහැ. සෑම මැයි දිනයකම අතට කීයක් හරි ගුලි කරලා, කසිප්පු පොවලා, බත් පාර්සලයක් දීලා ‘සාදුකින් පෙලෙන උන් දැන් ඉතින් නැගිටියව්’ කියන පෙළපාලි තමයි මේ ඇත්තන්ව අරන් යන්නේ. ඒ නිසා මම ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන් වැනි වෘත්තීයවේදීන් කැඳවලා ඒ අයට යෝජනා කළා මේ අයව නගාසිටුවීමේ වැඩපිළිවෙලක් යොදන්න.  එතුමන්ලා සියළු දෙනාම එක හිතින් එයට දායක උනා. ඒ නිසා තමයි කොටුවේ පිටකොටුවේ වැඩකරන ජනතාව මේ පක්ෂ පාට භේදයෙන් තොරව අපිත් එක්ක එකතුවෙලා අද මේ රක්‍ෂණ ආවරණයට හිමිකම් කියන්නේ.

එදා සිංගප්පූරු ආයෝජකයෝ ඇවිත් පිටකොටුවේ පීපල්ස් පාක් එක හදද්දි, බස් නැවතුම්පල හද්දි, සමහරු ඔවුන්ව දේශපාලනික වශයෙන් බය කරලා එම සමාගම්වල කොටස් අරගත්තාට, හැබැයි කිසිම දියුණුවක් ඇති කරලා නැහැ.

දැන් අක්කර 25 ක නව වෙළඳ මධ්‍යස්ථානයක් පෑලියගොඩ ගොඩනැගෙනවා. ඔබේ නව වෙළඳ මධ්‍යස්ථානය එතන ගොඩනැගෙන කොට මැනිං වෙළඳපලේ සිට චාමර්ස් දක්වා ප‍්‍රදේශය එකම ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්වෙනවා. මැනිං වෙළඳපල පෑලියාගොඩට ගිහින් එතන ජාතික වෙළඳපලක් හැදුවට ඔබේ දරුවන්ට එම වාණිජ මධ්‍යස්ථානය මේ කොටුවේ පිටකොටුවේ ටකරං අතරින් මහා මන්දිරයක් ලෙස ඉදිරි වසර 5 දී ගොඩනැගෙනවා, එය ඔබේ දරුවන්ටයි කියන එක මේ අවස්ථාවේදී ප‍්‍රකාශ කරනවා.

හැමදාම පෙළපාලි ගෙනිහින්, බංගවේවා, විනාශ වේවා කියලා අන්තිම සටනට කැඳවලා, දරුවෝ ටයර් සෑයවල්වල යවපු, අත්වල ලේ තවර ගත්ත දේශපාලනයට අපි තිත තියලා ඔබේ දරුවන්ට අනාගතයේ  මේ ප‍්‍රවාහණ මධ්‍යස්ථානයේ, මේ මහා නගරයේ හොඳ ඉංජිනේරුවෝ, වෛද්‍යවරු, නීතිවේදියෝ,වෘත්තීයවේදියෝ  වෙන්න, ඒ සියල්ලටම ඉහළින් හොඳ පුරවැසියෝ වෙන්න ශක්තිමත් අනාගතයකට අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා.

කිසිම පක්ෂ භේදයකින් තොරව මේ පිටකොටුවේ පොදු වෙළඳ ස්ථානවල වැඩකරන සියළු ජනතාව , බර උසුලන පිරිස් ඇතුළු සියළු දෙනාම අපිත් එක්ක අත්වැල් බැඳ ගත්තා. ඒ ලොකු බලාපොරොත්තුවකින්. පසුගිය කාලේ ගෝඨාභය මහත්තයාගේ සේනාංකවලට මුවාවෙලා  ඔබෙන් කප්පම්  ගත්ත යුගය දැන් ඉවරයි. මහින්ද මහත්තයාට ගෝඨාභයට මුවාවෙලා කඩ විකුණපු යුගය ඉවරයි. කඩ ලබාදෙන්නේ කඩ අවශ්‍ය අයට පමණයි. එනිසා නැවත වතාවක් ඒ අඳුරු අතීත යුගයට අපි යන්නෙ නැහැ. ඒ අතීතයට ගිහින් කප්පම් කාරයින්ට, පාතාල කාරයින්ට මේ කොටුව පිටකොටුව නැවත අපි බිලිදෙන්නේ නැහැ. මේ ප‍්‍රදේශය ඔවුන්ගෙන් මුදාගෙන ඒ ධර්මපාලතුමලා, ගුණසිංහ මහත්මයලා ගොඩනගපු ශක්තිමත් නගරය නැවත ගොඩනගන්න, එදා රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ගොඩනගපු ඒ නගරය විධිමත්ව ගොඩනගන්න අධිෂ්ඨාන කර ගමු කියල ඔබ හැමගෙන් ඉල්ලා සිටිනවා.

මේ පදික වේදිකාවේ ජීවිකාව කරන, ජීවත්වන මිනිස්සුන්ට රටපුරා අපහසයට කිව්වේ කොළඹ කාක්කෝ කියලා. පේමන්ට් එකේ රස්සාව කළාද, බඩු උස්සන, වැසිකිලි කැසිකිලි  සුද්ධ කරන රස්සාවක් කළාද ඔවුන්ට අවමානයට කිව්වේ කොළඹ කාක්කෝ කියලා. පක්ෂ පාට භේදයෙන් තොරව කොළඹ කාක්කෝ කියලා ඒ අවමන් කරපු අපේ ජනතාව මේ ලංකාවේ රාජාලින් පිරිසක් බවට ඉහළට ඔසවන එක තමයි මිත‍්‍රවරුනි අපේ අධිෂ්ඨානය.

ඒ නිසා ඔබ සියළු දෙනාම දැන් ඒ අවමානයෙන් කළුවෙච්ච මුහුණු සිනහවෙන් පුබුදු කරගෙන දෙකට තුනට නැවිච්ච කොඳු නාරටි, ඒ බර උසුලපු මිනිස්සු කොන්ද කෙළින් තියාගෙන, ඒ වගේම දෙකට තුනට දේශපාලකයේ ඉස්සරහා දණ ගහපු ඒ ජනතාව ශක්තිමත්ව දෙපයින් නැගිටගෙන ජාවාරම්කාරයින්ගේ සල්ලිවලට හිස නමපු යුගය අවසන් කරලා හිස කෙළින් තියාගෙන උතුම් කොළඹ පුරවැසියෝ බවට පත් කරන්න අපි සියළු දෙනාම එක්ව කටයුතු කරමු, ඒ සඳහා එක්ව ඉදිිරියට යමු, අපේ දූ දරුවන්ගේ අනාගතය එක්ව ගොඩනගමු කියලා ඔබ සියළු දෙනාමට ආරාධනා කරනවා. අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනයමෙයටත් වඩා දස ගුණයක් ශක්තිමත්ව රට හොල්ලන බලයක් බවට පරිවර්තනය කරමු’ යි පැවසීය.

මෙහිදී ඒ.ඊ. ගුණසිංහ මහතා සිහිපත් කරමින්  උපහාර පිදීම ද සිදුවිය. මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, ජාතික හෙළ උරුමය ජාතික සංවිධායක පළාත් සභා මන්ත‍්‍රී නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතා, පළාත් සභා මන්ත‍්‍රී, හෙළ අභිමාණී කාන්තා සංවිධානයේ සභාපතිනි නිරෝෂා අතුකෝරල මහත්මිය, ලංකා කම්කරු පක්ෂයේ නායක විජිත කදිරගොන්න මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

t

o

p