ප්‍රේමදාස ජනාධිපතිතුමා මතු වුණේ ජනතාවගෙන් කැපවුණේ ද ජනතාව වෙනුවෙනුයි

May 1, 2017

දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගුණානුස්මරණ උත්සවය අද (01) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රේමදාස  ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මම අලූතින් පැවසීමට අවශ්‍ය නැහැ. විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතාගේ සුභාශිංසන පණිවුඩයෙන් හා කතානායකවරයාගේ කතාවෙන් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ වර්ණනා කළා.

ප්‍රේමදාස මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හා අමාත්‍යවරයා වශයෙන් ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සේවය කළ ආකාරය අප දන්නවා. විපක්‍ෂනායකවරයාව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාට විශාල විප්ලවයක් කිරීමට හා විශාල බලය ලබාගැනීමට ප්‍රේමදාස   මහතා දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළා. ජේ.ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධූරයට පත් වූවායින් පසු අග්‍රාමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව මෙහෙයවීමටත්, නිවාස සංවර්ධන වැඩකටයුතු ඉදිරියට ගෙන යාමටත් ප්‍රේමදාස   මහතා පියවර ගත්තා. ජනාධිපති ධූරයට පත්වූවායින් පසු රට ඉදිරියට ගෙන යාමට ගත් පියවර සම්බන්ධයෙන් ද විපක්‍ෂනායකවරයාගේ පණිවුඩයෙන් හා අද පුවත්පත්වල පළ වූ ලිපිවලින් ද සඳහන් වී තිබෙනවා.

ප්‍රේමදාස ජනාධිපතිතුමා මතු වුණේ ජනතාවගෙන්. එතුමා කැපවුණේ ද ජනතාව වෙනුවෙනුයි. එතුමාගේ අවාසනාවන්ත මරණය සිදු වුණේ ද ජනතාව සමග සිටි අවස්ථාවකයි. එනම් ජනතාව ගරුකරන මැයි දින රැළියේදී එතුමාගේ මරණය සිදු වුණා. එතුමා දවසක් පැවසුවේ “ප්‍රේමදාස වන මට ජනාධිපතිවීමට පුළුවන් නම් ලංකාවේ ඕනෑම පුද්ගලයකුට ජනාධිපතිවීමට පුළුවන්” යන්නයි. එතුමා එදා ඒ අදහස පළ කළේ අප සියලූදෙනාම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අදහස් කරමිනුයි. සිංහල වුවත්, දෙමළ වුවත්, මුස්ලිම් වුවත්, බර්ගර් වුවත් සියලූ දෙනාටම ඒ ශක්තිය තිබෙන බව එතුමා ප්‍රකාශ කළා.

එතුමා ගත් ප්‍රධාන පියවර දෙකින් එකක් වනුයේ මේ රටේ සිටින දුගී දුප්පත් ජනතාව ඉදිරියට ගෙන යැමටයි. එමෙන්ම එම ජනතාවට එක හා සමාන අවස්ථාව ලබාදීම. එම ක්‍රමය මගින් පමණක් සාර්ථකත්වය ලබාගැනීමට නොහැකි බව තේරුම් ගත් ප්‍රේමදාස ජනාධිපතිතුමා රටේ ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමටත්, හමුදා බලය යොදවා ත්‍රස්තවාදය නැති කිරීමටත් පියවර ගත්තා. එදා උතුරේ හා දකුණේ ත්‍රස්තවාදය තිබූ අවස්ථාවේදී සියලූදෙනාටම එකහා සමානව සැලකිය හැකි දේශපාලන විසඳුමක් ලබාගැනීමටත් එතුමා කටයුතු කළා. රටතුල සමගිය ඇති කිරීමට, දේශපාලන විසඳුමක් ලබාගැනීමට එදා රට තුළ තිබූ වෘත්තීය සමිති, දේශපාලන සංවිධාන, අවිගත් සංවිධාන ඇතුළු සියලූ පාර්ශ්වයන් සමග ප්‍රේමදාස ජනාධිපතිතුමා සාකච්ඡා කළා.

දේශපාලන විසඳුමක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත් කර සභාපති වශයෙන් විපක්‍ෂ මන්ත්‍රීවයෙක් වන මංගල මුණසිංහ මහතා පත් කළා. එම වාර්තාව පැමිණීමට පෙර ප්‍රේමදාස   ජනාධිපතිවරයා අප අතරින් වෙන් වුණා. ඉන් අනතුරුව අපට ඡන්දයකට මුහුණදීමට සිදු වුණා. මැතිවරණයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජයග්‍රහනය කර දේශපාලන විසඳුමක් සඳහා යළි ක්‍රියා කළා. ඉන් අනතුරුව අපට අවස්ථාව හිමිවුණා. දේශපාලන වශයෙන් විසඳුම් සොයා ගැනීමට කටයුතු කළ ද ත්‍රස්තවාදී කණ්ඩායම එම විසඳුම පිළිගැනීමට සූදානම් වුණේ නැහැ. එනම් අප සියලූදෙනාම එදා තීරණය කළේ ත්‍රස්වාදය අවසන් කළායින් පසු රට තුළ ජාතික සමගිය ඇති කිරීමට අවශ්‍ය බවයි. ජාතික සංහිදියාව ඇති කර අසමගිය පැතිරවීමට ඉඩ නොතැබිය යුතුයි යන්න ස්ථාවරයේ අප සියලූදෙනාම සිටියා. එහෙත් සමහරුන් උත්සාහ දැරුවේ ජාතික අසමගියෙන්ම ජීවත්වීමටයි.

Premadasa-Samaruwa1යුද්ධය අවසන් වුවද රට තුළ ජාතික සමගිය ඇති වුණේ නැහැ. සමගිය වෙනුවට ජාති භේද, ආගම් භේද, දේශපාලන වෛරය ඇති වුණා. ජාත්‍යන්තරය ඉදිරියේ අප ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීමෙන් ඔවුන් ඉදිරියේ අප කොන් වුණා. රට තුළ ප්‍රශ්නය විසඳමට ජාත්‍යන්තර සහය අපට අවශ්‍යයි. ඒ වෙනුවට එදා ජාත්‍යන්තර ප්‍රජාව සමග වෛරයක් ඇති කර ගත්තා. රට ඉදිරියට ගෙන ගොස් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය ඇති කිරීමට විශේෂයෙන්ම දේශපාලන විසඳුමක් අවශ්‍ය බව අප පිළිගත්තා.

ඒ සඳහා ලංකාවේ මීට පෙර සිදු නොවූ ක්‍රියාවකට එළඹුණා.  දේශපාලන වශයෙන් වෙනත් මත දරණ පක්‍ෂ ගණනාවක් එකට එක්වී රටේ එකමුතුව වෙනුවෙන් හා ජාතික සමගිය ඇති කිරීමට ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූවායින් පසු සමගිය පිළිබඳව කතා කිරීමට අවස්ථාව එළඹි තිබෙනවා.

ජාතික සමගිය ඇති කිරීම සඳහා අප කටයුතු කරන බව ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ගුණසමරු අවස්ථාවේදී ප්‍රකාශ කිරීමට කැමැතියි. සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්, සිවිල් සමාජ, දේශපාලන නායකයන් සමග සාකච්ඡා කළා. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාවක් පත් කර අතීතය දිහා බලා කළ යුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කළා. යුද්ධයෙන් උතුරේ මෙන් දකුණේ ද විශාල ජීවිත ගණනාවක් අහිමි වුණා. ත්‍රස්තවාදය නැති කළ අපේ ආරක්‍ෂක හමුදාවේ ජීවිත ගණනාවක් අහිමි වුණා. මෙවන් මොහොතක කාගෙන්වත් පලිනොගෙන අතීතයේ අත්දැකීම් ලබාගෙන ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේද යන්න පියවර ගත්තා. අපේ අවංකභාවය පිළිඅරගෙන ජාත්‍යන්තර ප්‍රජාව අපට උදව් කරන බවට පවසා ජාතික සමගිය, ජාතික විසඳුමක් ඇති කිරීමට අවුරුදු දෙකක කාලයක් ලබාදී තිබෙනවා. 2014 වසරේ කොන්වී තිබුණු රට ආර්ථික වශයෙන් ගොඩගන්නේ කෙසේද යන්න බිය අප සියලූදෙනාටම තිබුණා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුව ගත් පියවර නිසා අපට ඉදිරියට යන්නට හැකියාව ලැබුණා.

ව්‍යවස්ථාදායක සභාවෙන් මෙහෙයුම් කමිටුවක් පත් කර අන්තර් වාර්තාවක් සකස් කරමින් සිටිනවා. එළඹෙන මාස දෙක තුනදී සාකච්ඡා කිරීමට හැකි වේවි. ව්‍යවස්ථාදායක සභාවේ සාකච්ඡා කරන අතරතුර සංඝරත්නය ඇතුළු ආගමික නායකයන් සමග හා සිවිල් සමාජය සමගත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනවා. සියලූ පාර්ශ්වයන් සමග සාකච්ඡා කර එකඟත්වයකට පැමිණීමයි අපේ අරමුණ.

මේ සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වයන් සමග දැනටමත් සාකච්ඡා කර තිබෙනවා. රට බෙදන්නේ නැතුව බලය බෙදාහරිමින් ඒකීය භාවය ආරක්‍ෂා කර රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න මහඇමැතිවරු සමග ද සාකච්ඡා කර තිබෙන අතර, මානව හිමිකම් පිළිබඳව, ඡන්ද ක්‍රමය පිළිබඳව, ආගම්වලට නිදහස ලබාදී බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබාදීම පිළිබඳව ද සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙනවා.

රට එක් සේසත් කර රට තුළ සමගිය ඇති කිරීම සඳහා ඔබ සියලූදෙනාගේම දායකත්වය ලබාදෙන්නැයි මේ අවස්ථාවේදී ඉල්ලා සිටීමට කැමැතියි. මංගල මුණසිංහ මන්ත්‍රීතුමාට එදා භාරදුන් ඒ වැඩකටයුතු මේ පාර්ලිමේන්තු සභාව තුළ ඉටුකිරීමට අප බලාපොරොත්තු වනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආණ්ඩුවක් ඇති කළේ මේ වගකීම් ඉටුකිරීමට බව ද සඳහන් කිරීමට කැමැතියි.

ප්‍රේමදාස ජනාධිපතිතුමා බලාපොරොත්තු වූ ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ජාතික සමගිය ඇති කිරීමට මේ පාර්ලිමේන්තු කාලය තුළ හැකි වේවි යැයි ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නිවාස ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයමින් උතුරේ මෙන්ම, කඳුකරයේ නිවාස නැති ජනතාවට නිවාස ලබාදීමට කටයුතු කරමින් සිටින සජිත් ප්‍රේමදාස මහතාට විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ස්තඣතිවන්ත වනවා.

t

o

p