සාම්ප්‍රදායික නොවී නූතන අභියෝග හඳුනාගෙන හිමිකම් දිනා දෙමු

May 1, 2017

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී, නූතන අභියෝග හඳුනා ගනිමින්, වැඩකරන ජනතාවගේ හිමිකම් දිනා දීමට වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මැයි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත.
එහි මෙසේද සඳහන් වේ.
සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩකරන ජනතාවගේ දහදිය ශ්‍රමය මතය. ඉතිහාසය පුරා ඔවුන් ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් කළ නොනවතින අරගලයක,කැපකිරීමක ප්‍රතිඵලයක් ලෙස ලෝකයේ අවධානය කම්කරු ජනතාව වෙත යොමු කරමින් ජාත්‍යන්තර මට්ටමින් මැයි දිනය සැමරීම ආරම්භ වී ඇත.
වර්තමානය වනවිට වැඩ කරන ජනතාව යන්න වඩාත් පුළුල් අර්ථයක් ගෙන තිබේ. එය තවදුරටත් කම්හ‍ලේ ගොවි‍පොළේ ශ්‍රමය වගුරුවන පිරිසට පමණක් සීමා වන්නේ නැත. නූතන තාක්ෂණික ලොව තුළ මානව ශ්‍රමයට පුළුල් අවකාශයක්, අවස්ථා රැසක් බිහි වී ඇත්තාක් මෙන්ම ඒ අනුව වැඩකරන ජනතාව මුහුණ දෙන අභියෝග සහ ගැටලුද දිනෙන් දින වෙනස් වෙමින් පවතී.
සාම්ප්‍රදායික මැයි දින සැමරුමට සීමා නොවී මේ නූතන ප්‍රවණතා සහ අභියෝගතා හඳුනා ගනිමින් වැඩකරන ජනතාවගේ හිමිකම් දිනා දීමටත්, ඔවුන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් කටයුතු කිරීමටත් කම්කරු ජනතාව සහ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයද එක්ව සාකච්ඡා කිරීම පුළුල් වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය වේ.
නවීන තාක්ෂණික ලෝකයේ, කාලීන සමාජ, දේශපාලන අභියෝග මැද කම්කරු ජනතාවට නිසි ගරුත්වය ලැබෙන, දේශයේ අභිවෘද්ධිය උදෙසා ස්වකීය කාර්යභාරය ඉටුකිරීමට අවශ්‍ය පසුබිම් සැකසෙන, ඔවුන්ගේ ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් වෙනුවෙන් සංවාදමය, සම්මුතිය මැදිහත්වීමකට මෙවර මැයි දිනය අවස්ථාවක් කරගනිමු.

t

o

p