ශ්‍රී ලංකාව තුළ රසායනික අවි භාවිතයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැත

March 21, 2014

Dr. Rohan P Pereraශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 ජාත්‍යන්තර රසායනික අවි සම්මුතියේ ආරම්භක සාමාජිකයෙක් වෙයි. ශ්‍රී ලංකාව තුළට රසායනික අවි හෝ රසායනික නිෂ්පාදනය කළ හැකි රසායන ද්‍රව්‍ය ගෙන්වා නැති බවත්, එවැනි රසායනික අවි මෙරටෙහි භාවිත කළ බව හුදෙක් මනඃකල්පිත අදහසක් බවත්, ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය පිළිබඳව ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා පවසයි.  

මෙම සම්මුතිය යටතේ 2007 අංක 58 දරණ රසායනික අවි සම්මුති පනත 1561-23 අංක ඇති අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2008 ශ්‍රී ලංකාව තුළ බලාත්මක කරනු ලැබුණි.

මෙම පනත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය පිහිටුවා තිබේ. ඒ අනුව ජාතික අධිකාරිය සතු ප්‍රධාන කාර්ය වනුයේ රසායනික අවි නිපදවිය හැකි රසායනික ද්‍රව්‍ය පරිහරණය කරන, ආනයන අපනයන කරන, නිෂ්පාදනය කරන තොග රැස්කරන ආයතන හා පුද්ගලයන් ලියාපදිංචි කිරීම සහ ඔවුන්ව නියාමනය කිරීමයි. තවද වාර්ෂිකව හා විවිධ හේතු මත එම ආයතන පරීක්ෂාවට ලක් කෙරෙනු ලැබේ. එහිදී එම රසායනික ද්‍රව්‍ය සාමකාමී අරමුණු සඳහා පමණක්ම (කාර්මික භාවිතයන් සඳහා පමණක්) භාවිත කරන බවට ආයතනය මගින් සැක හැර දැනගැනීමට ලක් කෙරෙනු ලැබේ.

දැනට ජාතික අධිකාරිය සතුව ශ්‍රී ලංකාව තුළ පරිහරණය වන ලැයිස්තුගත රසායනික ද්‍රව්‍ය, ඒවා භාවිත කරන ස්ථාන හා ගබඩා කරනු ලබන ස්ථාන පිළිබඳ විස්තරයක්ද, ඒවා භාවිත කරන්නේ කුමක් සඳහාද සහ එම ආයතන පිළිබඳ පූර්ණ දත්ත ගොනුවක්  පවතී. මෙම රසායනික ද්‍රව්‍යවල වාර්ෂික අවශ්‍යතාව පිළිබඳවත් හොඳ තක්සේරුවක් ජාතික අධිකාරිය සතුව පවතී. මෙම ජාතික අධිකාරිය විසින් සිදුකරනු ලබන පරීක්ෂණ හා නිරීක්ෂණයන්ට අනුව රට තුළ කිසිම ස්ථානයක රසායනික අවි ගබඩා කරන තැනුම්පොළක් හෝ ලැයිස්තුගත රසායනික ද්‍රව්‍ය ( Scheduled Chemicals) රසායනික අවියක් බවට පරිවර්තනය කළ හැකි අවම තාක්ෂණික පහසුකම්වත් ඇති පරීක්ෂණයක් නිරීක්ෂණය වී නොමැත.

මෙම ලැයිස්තුගත රසායනික ද්‍රව්‍ය ආනයනය හා අපනයනය කිරීමේදී පනතට අදාළ රසායනික ද්‍රව්‍ය බලපත්‍ර ලබාගත යුතු භාණ්ඩ බවට මුදල් අමාත්‍යංශය මගින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් හඳුන්වා දී ඇත. එමගින් රසායනික ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ආනයනය හෝ අපනයනය කිරීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් බලපත්‍රයක් නිකුත් කිරීමට සහ ශ්‍රී ලංකාවේ රේගුවෙන් භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීම සඳහා මෙම ජාතික අධිකාරියේ නිර්දේශය අනිවාර්ය අවශ්‍යතාවකි. ලැයිස්තුගත රසායනික ද්‍රව්‍ය ආනයනයේදී අපගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමද අත්‍යවශ්‍ය කරුණක් බව ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා පවසයි.

මේ දක්වා ලැයිස්තුගත රසායනික ද්‍රව්‍යවලින් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇත්තේ එක් රසායනික ද්‍රව්‍යක් පමණක් බව ලබා දී ඇති නිර්දේශ මගින් තහවුරු කළ හැකිය. මේ සම්බන්ධ වාර්ෂික වාර්තා  වර්ෂ 2005 සිට නෙදර්ලන්තයේ පිහිටි රසායනික අවි තහනම් කිරීමේ සංවිධානය වෙත යවා ඇත.  මෙම සම්මුතියේ සාමාජික රාජ්‍යයන් සෑම එකක්ම තමන් ආනයනය කළ, අපනයනය කළ හා නිෂ්පාදනය කළ ලැයිස්තුගත රසායනික ද්‍රව්‍ය සහ පූර්වජ ( Precursor) රසායනික ද්‍රව්‍ය පිළිබඳව පූර්ණ වාර්තාවක් නෙදර්ලන්තයේ පිහිටි මූලස්ථානය වෙත ලබා දිය යුතුය. මෙම මූලස්ථානය විසින් යම් රටක් ආනයනය අපනයනය කළ, නිෂ්පාදනය කළ රසායනික ද්‍රව්‍ය පිළිබඳ අනෙක් රටවල් සමග සසඳා බැලීමක් සිදුකරනු ලබයි. එහිදී යම් සැසඳීමක් පිළිබඳව ගැටලුවක් ඇත්නම් අදාළ සාමාජික රාජ්‍යයන් දැනුවත් කිරීම එම ආයතනයේ මූලික කර්තව්‍යයකි

මේ දක්වා ශ්‍රී ලංකාව විසින් යවන ලද වාර්ෂික වාර්තා සලකා බැලීමේදී කිසිදු අවස්ථාවක රසායනික අවියක් සදහා භාවිත කළ හැකි රසායනික ද්‍රව්‍යයක් ශ්‍රී ලංකාව තුළට ආනයනය හෝ ශ්‍රී  ලංකාවෙන් අපනයනය කර නොමැති බවටත්, නිෂ්පාදනය කර නොමැති බවටත්, තහවුරු කර ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ රසායනික අවියක් නිෂ්පාදනය කිරීම, භාවිත කිරීම, රැස් කිරීම කිසිදු අවස්ථාවක සිදු නොවූ බව ස්ථීර වශයෙන්ම පැවසිය හැකියැයි  ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

Courtesy: Department of Government Information

The Editor

Previous story Next story

Leave a comment

t

o

p