අනාගත අපේක්ෂාවන් දියුණු කර ගන්න වියට්නාමයේ පූර්ණ සහය දෙනවා – වියට්නාම් ජනාධිපති

April 18, 2017

ජාතික සංවර්ධනය සහ සංහිදියාව ඉලක්ක කර ගනිමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩ පිළිවෙල අගය කරන බව පැවසූ වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ට්‍රැන් ඩයි ක්වන් (Tran Dai Quang) මහතා, ශ්‍රී ලංකාවේ අනාගත අපේක්ෂාවන් සාර්ථක කර ගැනීම උදෙසා වියට්නාමයේ පූර්ණ සහය ලබා දීමට සූදානම් බව ද අවධාරණය කළේ ය.

17 වන දා පස්වරුවේ හැනොයි නුවර ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස හමුවෙමින් වියට්නාම් ජනාධිපතිවරයා පැවසූයේ වික්‍රමසිංහ මහතාගේ සංචාරය පැරණි මිතුදම් ශක්තිමත් කිරීමට මෙන්ම, දෙරට අතර සබඳතා නව මානයකට එසැවීමට ද හේතු වූ බවය.

වියට්නාම් ජනාධිපතිවරයා වෙත, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුබ පැතුම් පිරිනැමූ වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්‍ෂ දෙක එකතු වී, රට සංවර්ධනය සඳහා අනුගමනය කරන පිලිවෙත් පිලිබඳව කරුණු පැහැදිලි කළේය.

රටක අභ්‍යන්තර ස්ථාවර භාවය ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා ප්‍රධාන හේතු සාධකයක් වන බව මෙහිදී අවධාරණය කෙරිණි.

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිද යන පරිදි සබඳතා ශක්තිමත් කරලීම හා දෙරටේ ජනතාව අතර සමීප සබඳතා ඇති කිරීම සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

Ranil-in-Viyatnam4ඉදිරි දශක දෙකක පමණ කාලයක දී ආසියානු කලාපීය රටවල් ආර්ථික වශයෙන් ශක්තිමත් වීමේ වැදගත්කම පිළිබඳව ද, සාකච්ඡා කෙරුණු අතර, මේ පසුබිම මත ආසියානු රටවල් අතර වෙළඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කරලීමේ අවශ්‍යතාවය ද තහවුරු කෙරිණි. අනාගතයේ දී බටහිර වෙළඳපොළ පමණක් නොව, ආසියානු වෙළඳපොළ ද ඉලක්ක කර ගනිමින් සැලසුම් සකස් කළ යුතු බව දෙපාර්ශවයේම අදහස විය.

ඉන්දීය සාගර කලාපීය සාමය සහ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියා පිළිවෙත වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය සහතික කරලීම උදෙසා ආචාර ධර්ම පද්ධතියක් සැකසීම සඳහා, ඉන්දීය සාගර කලාපීය රටවල් සහ නාවුක ගමනාගමනය සඳහා සාගරය භාවිත කරන රටවල සහභාගීත්වයෙන් සමුළුවක් සංවිධානය කිරීම ශ්‍රී ලංකාව අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා පැවසීය.

වියට්නාමයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කරන බව වියට්නාම් ජනාධිපති ක්වන් මහතා පැවසීය.

ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික සහජීවන, සංවාද සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අළුවිහාරේ, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් චාන්දනී විජයවර්ධන, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසන්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්‍ෂ ජෙනරාල් සුදන්ත ගනේගමආරච්ච්, අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද, මේ සාකච්ඡාවට සහභාගී වූහ.

t

o

p