මුදල් ඇමති රවී කරුණානායක මහතාගෙන් අළුත් අවුරුදුට සුබ පැතුම්

April 12, 2017

ජනතා පරමාධිපත්‍යය තහවුරු කරමින් කතා කිරීමේ හා නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය සුරක්ෂිත කරවූ ගෞරවාන්විත වටා පිටාවක සිට සැමරෙන, මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිතිකොට, මේ සුබ පැතුම් පිරිනමන්නේ හදපිරි සතුටිනි.

දශක ගණනාවක සිට, අප ගෙවා දමමින් තිබූ අඳුරු යුගයන්ද, වේදනාබරිත මතකයන්ද දුරින් දුරු කරමින් අප දැන් මේ එළැඹ සිටින්නේ, සහජීවනයේත්, සමානාත්මතාවයේත් රතු පලස මතට යැයි මම විශ්වාස කරමි.

සහජීවනය යනු, අලුත් වචනයක් හෝ අලුත් සංකල්පයක් නොව, එය චිරාත් කාලයක් මුළුල්ලේ ජාති, ආගම්, කුල හෝ පංති භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාත්මික හදවත් එක්තැන් කළ රන් යදමක් බවට වන හොඳම උදාහරණය, ඔබ මා එක්ව සමරන මේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ම හැර අන් කවරක්ද?

එසේම, රටේ හෙට දවසේ යහපත උදෙසා, ඔබේ අද දවස, ඔබ ඉවසිල්ලෙන් දරා සිටින බවද අප ඉඳුරාම දනිමු. පසුගිය කාලවකවානුවල දී රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ගනු ලැබූ වැරදි තීරණ හා නිසි ආර්ථික කළමනාකරණයක් නොතිබීමේ ප්‍රතිවිපාකද අද විඳින්නට සිදුව ඇත්තේ අපටමය.

එහෙත්, ආත්ම විශ්වාසයත්, දැඩි අධිෂ්ඨානයත් ඇත්නම්, ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව මගේ ජීවන දර්ශනයයි.

එහෙයින්, අභියෝගයන්ට එක්ව මුහුණ දෙමු.

එක්ව නැගී සිටිමු.

උදාවූ මේ සූර්ය මංගල්ලයේදී, ඒ අධ්‍යාත්මික ශක්තියෙන් ඔබ සියල්ලන්ගේම,

ජීවිත ආලෝකවත් වේවා!

රවී කරුණානායක – මුදල් අමාත්‍ය

t

o

p