ගාලුමුවදොර පිට්ටනි දාහක් වුවත් පිරවිය හැකි සෙනඟක් මැයි 01දාට ගේනවා

April 10, 2017

මැයි දින සැමරුම සඳහා ගාලුමුවදොර පිටිය ලබාදීමෙන් ආණ්ඩුව දුන් කළේ අභියෝගයක් නම් එම අභියෝගය ඉහළින්ම ජයග්‍රහණය කිරිමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ගාලුමුවදොර පිටිය ලබා දී ඒකාබද්ධ විපක්ෂය ඇන ගන්නා හැටි බලා සිනාසීමට සිටි ආණ්ඩුවට දැන් සිදුව ඇත්තේ අඬන්නට බව පැවසූ රණතුංග මහතා අද රටේ ඇත්තේ ගාලුමුවදොර පිට්ටනි දාහක් වුවත් පිරවිය හැකි සෙනඟකින් සමන්විත ආණ්ඩු විරෝධයක් බව මැයි 01 වැනි දා රටටම පෙන්වා දෙන බවත් පැවසිය.

රණතුංග මහතා මෙම අදහස් පළ කළේ විමධ්‍යගත අරමුදල්වලින් සුබසාධක සමිතිවලට හට් සහ පුටු පරිත්‍යාග කිරිම වෙනුවෙන් උඩුගම්පොළ දී පෙරේදා (08) පැවැති උත්සවයකට සහභාගී වෙමිනි.

ප්‍රසන්න රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

සිංහල අලුත් අවුරුද්ද තව දින කිහිපයකින් උදාවෙනවා. හැබැයි මිනිස්සුන්ට අවුරුදු සමරන්න පුළුවන් වාතාවරණයක් රටේ නැහැ. බඩු මිල අහස උසට ගිහින්. වෙනදා සිංහල අවුරුද්දට බඩකට පුරා කාපු මිනිස්සුන්ට මෙදා පාර වෙලා තියෙන්නේ ලෙවකන්න. ඒක තමයි මේ යහපාලන ආණ්ඩුව රටට උදා කරපු වෙනස. හොඳට කාලා ඇඳලා හිටපු මිනිස්සු හිඟන්නෝ කරපු ආණ්ඩුවක් තමයි දැන් රට පාලනය කරන්නේ.

බලයට එද්දි කියපු සුරංගනා කතා දැන් ජනතාවට තේරිලා තියෙනවා. එදා මහින්ද මහත්තයා රට සංවර්ධනය කරන කොට මේ අය කිව්වේ හොරා හොරා කියලයි. නමුත් කිසිම හොරකමක් ඔප්පු කරගන්න බැරි වෙලා තිබෙනවා. හැබැයි අපි මේ ආණ්ඩුවේ හොරකම් ගැන අල්ලස් කොමිසමට ගියේ සේරම සාක්කිත් එක්කයි. ඒත් ආණ්ඩුව සද්ද නැතුව ඉන්නවා. මේක හොරු රකින ආණ්ඩුවක්.

මේ රටේ ජනතාවට එදා තිබ්බ ලොකුම ප්‍රශ්නය තමයි යුද්ධය. මහින්ද මහත්තයා 2005 බලයට ආවේ නැත්නම් අපි තාමත් බෝම්බවලට බයේ හැංගෙමින් ජීවත් වෙනවා. එතුමට පින්සිද්ධ වෙන්න තමයි අපි අද නිදහසේ පාරක තොටක යන්නේ. යුද්ධය කරන ගමන් එතුමා රට සංවර්ධනයත් කළා. පක්ෂ භේදයකින් තොරව අපි ඒක පිළිගන්න ඕනේ. කුහකයන්ට විතරයි ඒක පිළිගන්න බැරි.

2005 ඉඳන් 2015 වෙනකම් රටේ සිදුවුණ සංවර්ධනයත් 2015න් පස්සේ මේ වෙනකම් රටේ සිදුවුණ සංවර්ධනයත් සාපේක්ෂව හිතලා බලන්න. කිසිම දෙයක් වෙලා නැහැ. පාසලකට ඩෙස් එකක් පුටුවක්වත් දෙන්න මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා. එදා වෙනසක් හොයා‍ගෙන හංසයාට කතිරය ගහපු මිනිස්සු දැන් පසුතැවෙනවා. සමහරු ඉන්නේ නිකම් අපි ඡන්දෙ දීලා මේ ආණ්ඩුව ගෙනාවා වගෙයි.

මිනිස්සුන්ට ආණ්ඩුව විතරක් නෙමෙයි දේශපාලනයත් තිත්ත වෙලා තියෙන්නේ. මිනිස්සු දේශපාලනය ගැන කතාකරන්නවත් කැමැති නැහැ. හැබැයි ‍එහෙම බැහැ. අපේ අයිතිවාසිකම් වෙනුවෙන් අපි පාරට බහින්න ඕනේ. අපි නිහඬව හිටියොත් ආණ්ඩුව ඕනෑ ඕනෑ විදියට වැඩ කරයි. ඒ හින්දා මේ ජාතිද්‍රෝහී ගෙදර යවනකම් අපි නිහඬ වෙන්න හොඳ නැහැ.

2015 මහින්ද මහත්තයා පැරදුණාම එකට හිටපු අය පවා අතහැරලා යද්දි මම එතුමා සමඟ හිට ගත්තා. මගේ සහෝදරයො, යාලුවෝ පවා මට බැන්නා. මහ ඇමැතිකම නැති කරගන්නද යන්නේ කියලා ඇහුවා. මෛත්‍රී එක්ක ෂේප් එකේ ඉන්න කිව්වා. සහෝදරයෝ මට කිව්වා ඔහොම ගියොත් මහ ඇමැතිකම නැති වෙලා වාහන ටිකයි, නිල නිවසයි නැති වෙයි ගිහින් ෂේප් කරන්නම් කියලා.

හැබැයි මේ රටේ බහුතර ජනතාව මගේ ස්ථාවරය එක්ක හිටගත්තා. අද වෙනකොට එදා මට බැනපු සමහරු දැන් අහන්නේ මට අනාගතය පේනවා නේද කියලයි. ඒ නිසා මම විශ්වාස කරන්නේ අපි ගන්න ස්ථාවරය මොකක් වුණත් බය නැතුව ඒ වෙනුවෙන් පෙනී ඉන්න ඕනේ කියලයි. එහෙම වුණොත් මුලින් බනින මිනිස්සු පවා පස්සේ අපිත් එක්ක එකතු වෙයි. අපි හරි නම් වරදින්නේ නැහැ.

දේශපාලනඥයකු විදියට මට පවුල් දෙකක් තිබෙනවා. එක පවුලක් තමයි මගේ අම්මා, තාත්තා සහෝදරයෝ ඉන්න පවුල. අනෙක් මහින්ද රාජපක්ෂ මහත්තයා ඇතුළු අපේ ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමෙන් සමන්විත පවුල. මේ පවුල් දෙකෙන් මට වැඩිපුර වටින්නේ මහින්ද මහත්තයා ඇතුළු කණ්ඩායම ඉන්න පවුල. මොකද ඒ පවුලේ හැමකෙනෙක්ම එකා‍ වගේ මේ රටට ආදරෙයි.

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් අපි දැන් අවුරුදු දෙකක්ම මැයි දිනය සැමරුවේ වෙනම කණ්ඩායමක් විදියටයි. පළමු අවුරුදු දෙකේම අතිශයින් සාර්ථකව මැයි දිනය සමරන්න අපිත් එක්ක ජනතාව එකතු වුණා. ඒ නිසා අපි මෙවර තීරණය කළා වඩාත් ඉඩකඩ තියෙන ගෝල්ෆේස් ක්‍රීඩාංගණයේ අපේ මැයි දින සැමරුම පවත්වන්න.

ආණ්ඩුව මුලින් ඒකට කැමැති වුණේ නැහැ. අපිට ගෝල්ෆේස් එක දෙන්න බැහැ කිව්වා. පස්සේ ආණ්ඩුව හිතුවා ගෝල්ෆේස් එක දුන්නත් මහින්දට සෙනඟ ගේන්න බැරි වෙයි කියලා. එහෙම හිතලා දැන් අපිට ‍ගෝල්ෆේස් එක දීලා තියෙනවා. ආණ්ඩුව හිතන්නේ අපි ඇන ගනියි කියලා. මම කියන්න කැමැතියි අපි ඇන ගන්නකම් බලන් ඉන්න ආණ්ඩුවටම තමයි අන්තිමේ දී ඇන ගන්න වෙන්නේ.

අද රට පුරා තියෙන ආණ්ඩු විරෝධී රැල්ලත් එක්ක ගොල්ෆේස් එක නෙමෙයි ගෝල්ෆේස් දාහක් පුරවන්න පුළුවන් සෙනඟක් එකතු කරන එක මහ ලොකු වැඩක් නෙමෙයි. සැබෑ ආණ්ඩු විරෝධීන් හිටගන්නේ මහින්ද මහත්තය ඉන්‍න පැත්තේ කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඒ නිසයි ඒකාබද්ධ විපක්ෂයට මේ තරම් යෝධ ශක්තියක් ලැබිලා තියෙන්නේ.

අපි ආණ්ඩු විරෝධීන් කියන්නේ මේ පරගැති ආණ්ඩුව ගෙදර යැවීමේ සැබෑ ඕනැකමකින් කටයුතු කරන අයට මිසක් ජනතා විමුක්ති පෙරමුණ වගේ ඔඩොක්කු කුක්කන්ට නෙමෙයි. දවල්ට ගිරිය පුප්පන් ආණ්ඩුවට බනින රතු සහෝදරයෝ රෑට රනිල් හාමු එක්ක හිරිකිත නැතුව සිරිකොතේ ලැගගෙන ඉන්න බව දැන් ජනතාවට රහසක් නෙමෙයි.

ඒ අයගේ ප්‍රධාන හතුරා මහින්ද රාජපක්ෂ මිසක් ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩුව හුරතල් කරන ගමන් තාමත් කට උල් කර කර බනින්නේ මහින්දට. මං අහගෙන ජනතා විමුක්ති පෙරමුණේ කෙනෙක් කියනවා අපිට ගෝල්ෆේස් එක දුන්නා නම් පුරවලා පෙන්නනවා කියලා. රටෙන්ම ඡන්ද ලක්ෂ පහක් ගන්න බැරි ජනතා විමුක්ති පෙරමුණ ගෝල්ෆේස් පුරවන හැටි අපිට හිතාගන්න පුළුවන්.

අපිට අභියෝග කරන්න ගෝල්ෆේස් දුන්න ආණ්ඩුවට උණ ගැනෙන අභියෝගයක් කරන්න අපි මැයි 01 වැනි දා සූදානමින් ඉන්නවා. එදාට රටේ සතර අතින් ගාලුමුවදොරට ගලන සෙනඟ ජනාධිපති කාර්යාලය, අරලියගහ මන්දිරය යට කරගෙන ගලායන කොට ආණ්ඩුවට නිකම් නෙමෙයි සහලෝලා උණ ගන්නවා. චණ්ඩි වගේ ගෝල්ෆේස් දුන්නට ආණ්ඩුවටත් දැන් ඒක තේරිලා තියෙනවා.

නිදහස් පක්ෂයේ තරුණ සංවිධානේ සභාපති කියාගන්නා කෙනෙක් කියලා තිබුණා අපි බය වෙලා කියලා. ඡන්දයක් දිනා ගන්න බැරුව පිනට සංවිධායක, ජනාධිපති අධයක්ෂ වෙලා ඉන්න අය ගැන කතා කරන්න කැමැති නැති වුණත් මම කියන්න කැමැතියි එයාට දඹදෙණියේ ජනතාව උගන්නපු පාඩම රටේම ජනතාව මේ පාර එයාගේ නායකයාට උගන්වන්න සූදානමින් ඉන්නවා කියලා.

ඒ හින්දා පිං සංවිධායකතුමෝ නිකම් ණයට කහින්න එපා. සිවිල් ආරක්ෂකයොයි, එක්සත් ජාතික පක්ෂයේ යොවුන් සමාජ නිලධාරිනුයි ගෙනල්ලා තරුණ සමුළුවක් කරපු පලියට හිතන්න එපා මුළු රටම ආණ්ඩුවට කැමැතියි කියලා. ගමට ගිහින් බලන්න ඉලපත් පාරක් නොකා බේරිලා එන්න පුළුවන්ද කියලා. මේ රටේ දැන් තියෙන්නේ ආණ්ඩු විරෝධී රැල්ලක් කියලා අපි මැයි දිනය දා මේ ආණ්ඩුව මතක් කරලා දෙනවා.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.

t

o

p